කුරුන්දි විහාර ඉඩම් ජනතාවට පවරා දෙනවා ද,..? – ජනපති ලේකම්ගෙන් මේධානන්ද හිමිට ලිපියක්….

June 16, 2023 at 8:44 am | by emanisa.lk

මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බව දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දී කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබිණි.

කුරුන්දි විහාරයට අයත් ඉඩම් මහ ජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති බැවින් එම ඉඩම් බෙදාදීම නුසුදුසු බව ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි සිය ලිපිය මඟින් පෙන්වාදී තිබිණි.

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ දක්වා තිබේ.

කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *