කටුනායක VIP පර්යන්තයට අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍ර…!

May 27, 2023 at 8:25 am | by emanisa.lk

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.

ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.

විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්තවල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්තවල ද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. එමගින් ගුවන් මගීන් අත්බෑග්වලින් ගෙන එන නීති විරෝධී භාණ්ඩ සහ බදු ගෙවීමකින් තොරව ගෙනෙන භාණ්ඩ පිටතට රැගෙන යාම වැළකෙන බව රේගු නිලධාරීහු කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස