උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට…!

September 28, 2022 at 4:08 pm | by emanisa.lk

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

ඒ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් තමන්ට කරදරයක් වන අයුරින් කටයුතු කළ බවට ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටියේ නැත. වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඔක්තෝබර් 31 වැනිදාට කල් තැබිණි.

2016 දෙසැම්බර් 06 වැනි දින අධිකරණය විසින් කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කර තිබුණේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ දී අලුයම 5.00-6.00ත් අතර කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් අසල්වාසීන්ට කරදරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමිනි.

ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන ශබ්දවලට සවන් දීමට තමන් අකැමති බව පැමිණිලිකරුවන් හයදෙනා වන ගාවින්ද ජයසිංහ, වෛද්‍ය කාලිංග කළුපෙරුම, ඩිරේන් ආර්. හලොක්, මිලින්ද මොරගොඩ, කමලේෂ් ජෝන්පිල්ලෙයි සහ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට දන්වා සිටියහ.

අවස්ථා කිහිපයකදී තමන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් බලධාරීන් ඇස් පියාගෙන සිටින බව ඔවුහු පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *