අරගල මැද රටින් පැන්නූ කෙලිග්ගේ පෙත්සම විසිවෙයි..! ලක්ෂ 05ක දඩයකුත් ගෙවන්න වෙයි…!

May 12, 2023 at 10:10 am | by emanisa.lk

තමාට නිකුත් කර තිබුණු නේවාසික වීසා අවලංගු කිරීමට ආගමන විගමන පාලකවරයා අරගල සමයේ ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ආන්දෝලනාත්මක කතාබහකට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙස ඇයට ඊයේ (11) නියෝග කළේය.

එම පෙත්සම පවත්වාගෙන යෑමට එරෙහිව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කරමින් මේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණ. එම මූලික විරෝධතා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු ගාස්තුව කඩිනමින් අය කර ගැනීමට කටයුතු කරන ලෙසද නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වය සහිත නඩු තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙහි සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි.

නේවාසික වීසා මත මෙරට රැඳී සිටි පෙත්සම්කාරිය අරගලය සහ සම්බන්ධ වූ බවට සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍යවල සඳහන් විය. මෙරට රැඳී සිටීම සඳහා විසා ලබා තිබුණ ද එය අවලංගු කිරීමට ආගමන විගමන පාලකවරයා ඉකුත් 2022 වසරේ අගෝස්තු මස දහ වැනි දා තීරණය කළේය.
අනතුරුව අගෝස්තු මස පහළොස් වැනි දාට පෙර මෙරටින් පිට වන ලෙස ඇයට දැනුම් දී තිබිණ. ඊට එරෙහිව එම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි. ආගමන විගමන පාලකවරයා ඇතුළු තිදෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස