අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීම සමාගම් රකින එක නෙමෙයි…! – ජනපති….

May 18, 2023 at 2:31 pm | by emanisa.lk

අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහය ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ රටේ ආර්ථිකය බංකොලොත් වීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් ම වගකිව යුතු බව කී ජනාධිපතිවරයා, පසුගිය කාලයේ දී අමාත්‍යාංශවලට යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදුන්න ද ජනතා මුදල් අපතේ යාම පමණක් සිදුව ඇතැයි සඳහන් කළේ ය.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත්, ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

රටේ ආර්ථිකය බංකොලොත් වීම ත්, තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නඟන ප්‍රශ්නවලටත් දේශපාලනඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලු දෙනාට පිළිතුරු දීමට සිදුවන බව ද හෙතෙම කීවේ ය.

රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේ ද කියා අමාත්‍යාංශ තීරණය කළ යුතු බවත්, එහි ප්‍රගතිය තව මාසයකින් විමසා බැලීමට තමා අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළ දී තීරණය කරන බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

අමාත්‍යාංශ ගණන 30කට සීමා කර ගන්නා බවත්, ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්තය එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ත් හෙතෙම කීවේය.

ජාත්‍යන්තර වෙළෙඳාම හා විදේශ කටයුතු එකට තිබිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ සේවා සභාව සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙන බවත්, දීපව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනය වීම වඩාත් සුදුසු බවත් සඳහන් කළේ ය.

රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙම සියලු සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙන බවත්, මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා රජය යටතේ තබා ගන්නා බව ත් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත ලබා දිය යුතු බවත්, මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට සියලු ම දෙනා උපරිමය සහය ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

සියලු දෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු ද මීට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස