ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ කුමක් දැයි තමාට නොතේරෙන බව ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අපේක්ෂිකා, නීතීඥ නිරූපා සේරසිංහ පවසයි.

අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක යන කිසිවෙකු මේ රටේ නායකත්වයට සුදුසු නැති බව ද ඇය අවධාරණය කළාය.

එසේ ම මෙරට නීතීඥ ප්‍රජාව අතර හොඳ වෘත්තිකයින් මෙන් ම තක්කඩි ද සිටින බවයි, නීතීඥ නිරූපා සේරසිංහ වැඩි දුරටත් සඳහන් කළේ.

කුසගින්නට මන්දපෝෂණයට විරැකියාවට බංකොලොත් ආර්ථිකයට එක ම උත්තරය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

සජිත් ප්‍රේමදාස යනු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා වැපිරූ බීජය බව ද ඔහු සඳහන් කළේය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය නලීන් බණ්ඩාරට භාර දී ඇති බව ද විජයමුණි සොයිසා ප්‍රකාශ කළේය.

බිංගිරිය සමගි ජන බලවේග ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

පාසැල් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට බව පවසමින් පොලිස් නිලධාරීන් පාසැල් දරුවන්ගේ බෑග පරික්ෂා කිරීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය පාසල් සිසුන් අතර ප්‍රචලිත ව ගොස් ඇත්තේ යයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවද එය එතරම් සාර්ථක ක්‍රමවේදයක් නොවන බවයි.

පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් පාසල් තුළට ගෙන දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම දරුවන්ට හිරිහැරයක් බව පැවසූ ස්ටාලින් ඒ හරහා දරුවන් තව දුරටත් මානසික පීඩාවට පත්වන බව ද කියා සිටියේය.

චීනය ශ්‍රී ලංකාවට සහය වන්නේ සැඟවුණු දේශපාලන අරමුණුවලින් තොරව බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විදෙස් මාධ්‍ය සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර දක්වමිනි.

පදනම් විරහිත චීන ණය උගුල චෝදනාවට ප්‍රබල ප්‍රතික්ෂේප කිරීමක් වන විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රකාශ චීනය ප්‍රශංසා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

චීන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, චීනය කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ මූල්‍යකරණයෙන් කිසිදු ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා නොකරන බව ය.

එමෙන් ම, මෙරට ණය ගැටලු නිසි ලෙස විසඳීම සඳහා චීනය සහය දක්වන බව ද ඔහු සඳහන් කර ඇත.

පාලකයන් මහා සංඝරත්නයට ගෞරව කළ යුතු බවත් සිවුරු ඇඳගත් බට්ටෝ කියා පාලකයන් භික්‍ෂූන් වහන්සේට නින්දා කිරීම නුසුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) මේ බව පැවසීය.

එදා රට පාලනය කළ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ මහා සංඝරත්නයයි. එක්තරා කියමනක් තිබෙනවා ගින්න, සර්පයා, යසස් ඇති රජ කුමරු සහ සිල්වත් භික්ෂුව සමග හොඳින් හැසිරෙන්න කියා. දැන් පාලකයන් මහා සංඝරත්නයට අවවාද කරන බව පෙනෙනවා.
රජතුමා කියන සියලු දේට අවනත නොවෙන්න කියලායි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. සමහර පාලකයෝ හිතනවා මහා සංඝරත්නය ඒ අය කියන දේ අහලා ඉන්න ඕනෑ කියලා. ඒ විතරක් නොවෙයි නින්දා, අපහාස, පරිභව කරනවා. ඒ අයට මම කියන්නේ පරාභව සූත්‍රය හෝ වසල සූත්‍රය හෝ කියවන්න කියලා. සිවුරු ඇඳගත් බට්ටෝ කියලානේ කිව්වේ. ඒක සුදුසු නැහැ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග – මහා සංඝරත්නයට හෝ ආගමික නායකයන්ට අපහාස කරනවා නම් අපි කිසිම කෙනෙක් අනුමත කරන්නේ නෑ. නමුත් චීවරය ඇඳගෙන දවල්ට එළියට ඇවිත් රාත්‍රියේ අරගලකරුවන් සමග පාටි දාන ඒවා අපි ෆේස්බුක්වල දැක්කා. එතකොට මහා සංඝරත්නය ගැන ගෞරවය නැති වෙනවා. 88, 89 කාලයේ ප්‍රේමදාස මහතාගේ ටයර් සෑයවල්වල චීවරවලින් ඔතලා ගංගාවල දාන කාලේ ඔය කතාව කියන්න කෙනෙක් හිටියා නම් හරි.

සජිත් ප්‍රේමදාස – අර කියපු ප්‍රකාශය නිසා මහා සංඝරත්නය විශාල පිරිසක් කම්පා වුණා. ඒ කියපු ආකාරයෙන් සමස්ත මහා සංඝරත්නයට කැළලක් වුණා කියලයි මතය තිබෙන්නේ. අපි මහා සංඝරත්නයටයි, චීවරයටයි සලකන්න ඕනේ. අපි සංඝරක්නය විවේචනය කරන්න යන්න හොඳ නෑ.

ප්‍රසන්න රණතුංග – අපි එහෙම දෙයක් කළේ නෑ. ඔබතුමාලා මතයක් හදන්න යනවා.

හිරුණිකා ජවිපෙන් ප්‍රශ්න කීපයක් අහලා වී එෆ්. එම්. ලෝගෝව පෙන්න පෙන්න උත්තර දෙන්න කියලා තර්ජනය කරනවා දැක්කා. ජේ.වී.පී. එකත් එක්ක හැප්පෙන්න නං එහෙම ප්‍රශ්න තෝරගන්න. මොකෝ මේ ප්‍රශ්න අහලා ජවිපෙට රිද්දන්න බෑ.

වී එෆ්.එම්. කියන්නෙ 2005 ජනාධිපතිවරණයේදී කළ උදව්වලට හිලව් වෙන්න මහින්ද රාජපක්ෂ (ඔයා පොඩි කාලෙ සෙල්ලම් කරපු චිචීලගෙ තාත්තා) දුන්න දොළ පිදේනි සංඛ්‍යාත.

ඒ සංඛ්‍යාතවලින් ගුවන්විදුලියක් පටන් ගන්න විශාල මුදලක් වැය වුණා. පක්ෂ අරමුදලෙන් ආරම්භ කරලා කෙටි කාලයකින් එම ගුවන්විදුලි නාලිකාව ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්න බැරි වුණාම ඒ සංඛ්‍යාත එක්කම සියලු වත්කම් විකිණුවා. නැතිව ව්‍යාපාරයක් බංකොලොත් වුණාම අදාළ දේපොළ පිනට දෙන්නයෑ.

ඒක ගත්තෙ කවුද, දැන් අයිති කාටද කියන එකේ කිසිම වැදගත්කමක් නෑ. ඒ හුදු බිස්නස් එකක්.
මං මේ ජේවීපී එක වෙනුවෙන් උත්තර දෙනවා නොවෙයි. මං දන්න ඇත්ත කියන්න හිතුවා. ඒක කියන්න මට අයිතියක් තියෙනවා.

මොකද මං තමයි වී එෆ්.එම්. ආරම්භක පාලක. මං තමයි එම ගුවන්විදුලි නාලිකාව ආරම්භ කරන්න ගොඩනැගිල්ල හොයාගෙන ස්ටුඩියෝ හදාගෙන, ශිල්පීන් බඳවගෙන, ඔයා පෙන්නපු ලෝගෝ එකත් ඩිසයින් කරවගෙන, වී කියන නමත් යෝජනා කරගෙන (නම නිර්මාණය කිරීමේ අයිතිය වසන්ත දුග්ගන්නාරාල) විකාශනය ආරම්භ කළේ.

හිරුණිකා …මඩගහන්න ඕනෙ නං හරි තැනකින් අල්ලගන්න. නිකං ගොං වෙන්නෙපා ..

මීට වී එෆ්.එම්. ආරම්භක ප්‍රධානී
හෙන්රි වර්ණකුලසූරිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් නොව ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් අමතා අගමැති ධූරය ඉල්ලා සිටි බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

ඒ බව හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කළබවයි, ඩයනා ගමගේ සඳහන් කළේ.

රටට සංචාරකයින් පැමිණෙන මේ අවස්ථාවේ එය කඩාකප්පල් කිරීම සඳහාත් සිය බැරිකම වසා ගැනීම සඳහත් විපක්ෂ නායකවරයා නැවත නුවර සිට කොළඹට පාගමනක් සූදානම් කරන බවට ද ඇමැතිනිය චෝදනා කළාය.

රට නැවත මේ අර්බුදයෙන් මිදී හිස ඔසවන්නට උත්සාහ කරන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් විපක්ෂ නායකවරයාට මෙවර මහ පාරේ දී ජනතාවගෙන් ගුටිකෑමට සිදු වනු ඇතැයි ද ඩයනා ගමගේ අනතුරු ඇඟවුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇති කිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙළකට දායක විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.