හම්බන්තොට තරුණයින්ට මෙන් ම මාතර තරුණයින්ට ද ෆයිසර් එන්නත ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඒ පිළිබඳ ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස තමන්ට බොහොම කනගාටුවක් ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ නිසා සිය ජනතාව කුලප්පු වී ඇති බවත් ගාල්ලට කුඩම්මාගේ සැලකිලි ඇයි දැයි තමන්ට ද ප්‍රශ්නයක් පැන නඟින බව චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි.

පොහොර නැතිව ගොවීන් කබලෙන් ළිපට වැටී ඇතැයි හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න පවසයි.

එවැනි පසුබිමක වැවේ සලනාපව කඩා ඇවිදින මං තීරු තැනීම කෙතරම් ඔලමොට්ටල වැඩක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර බැම්ම මතින් දිවෙන මාර්ගයට සමගාමීව ඇවිදින මං තීරුවක් තැනීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු උතුරු මැද පළාත් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා ආසාදිත රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසයි.

ඒ අනුව නාවින්න ආයුර්වේද රෝහලේ දී මෙම කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා සිටි බැවින් දේශීය හෝ ආයුර්වේද ඖෂධ ලබාදීමේදී ගැටලු රාශියක් මතු වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙසේ රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

 582 total views

කොරෝනා මර්දනයට මිත්‍යා විශ්වාස පසුපස දිවීමට වඩා විද්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළ යුතු බව හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

වර්තමාන පරිසර අමාත්‍යංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මාධ්‍ය හමුවක දී ය.

කොරෝනා රෝගය සඳහා ලොව පුරා ඖෂධ ගණනාවක් සොයා ගෙන ඇති බවත් ලංකාවේ පිරිසක් ඒ මත විශ්වාසය තබන අතර තවත් පිරිසක් මිත්‍යාව පසුපස දුවන බවත් ජාසිංහ සඳහන් කරයි.

2021 වසරේ මුල් මාස හය ඇතුළත කොරෝනා ඖෂධය ශ්‍රී ලංකා ජනගහනයෙන් 20%ක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ ලබා දෙන බව බෝවන රෝග අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ය.

 379 total views

2019 වසරේ දී රුපියල් මිලියන 347,245කත්, 2020 දී 269,545කත් මෙ රටට නිමි ඇඳුම් ආනයනය කර ඇති බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එහෙත් මෙ රට ප්‍රධාන පෙලේ නිම් ඇඳුම් අලෙවි ආයතන ආනයනය කරන්නේ සිය අවශ්‍යතාවෙන් 20%ක් බවත් 80%ක්ම දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගන්නා බවත් හෙතෙම පැවසීය.

රටේ මුදල් පිටට නොයා දේශීය නිෂ්පාදකයා රැකගැනීමේ අරමුණින් ආනයනය ඇඟලුම් නිෂ්පාදන සඳහා තමන් බදු ඉහළ දැමූ බව අමාත්‍යවරයා කීය.

 392 total views

ආදායම් මාර්ග අහිමි වීම සහ බඩුමිල ඉහළ යාම නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ නව වසර උදාව නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිවැරදි විද්‍යාත්මක දැක්මක් සහිතව සාමුහිකව කටයුතු කරන්නේ නම් ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි..

ශ්‍රී ලාංකේය ජනතාව 2021 නව වසරට පා තබන්නේ කෝවිඞ් 19 වසංගත තත්වය අවසන් නොවී හා පැතිරෙමින් තිබියදීය. එබැවින් මෙම වසර ආරම්භ වන්නේම ජනතාව ඉදිරියේ ඇති අභියෝගයත් සමගය. එබැවින් නව වසර සුබ නව වසරක් වේ යැයි සිතිය නොහැකි නිසා නව වසරට සම්ප්‍රදායික සුභ පැතීම් ගැලපෙන්නේ නැත.

කෙසේ වෙතත් අප අසුබවාදී විය යුතු නැත. නිවැරැදි දැක්මක් අනුව විද්‍යාත්මකව හා සාමූහිකව ප්‍රයත්නයන් දරන්නේ නම් මිනිසුන්ට විසඳිය නොහැකි ගැටලු නැත. ජයගත නොහැකි අභියෝග නැත. එබැවින් මේ නව වසරේ අප අදිටන් කර ගත යුත්තේ අප ඉදිරිපිට නිර්මාණය වී ඇති අභියෝග ජය ගැනීම සඳහා අලුත් නිවැරදි මඟකට ප්‍රවේශ වීමටය. එලෙස අභියෝග ජය ගැනීමට නව මඟක් ගැනීමට සූදානම්, ඒ සඳහා ඕනෑකම හා ධෛර්ය ඇති සැමට ඒ සඳහා අපි සුබ පතමු. එවිට සියලු ජනතාවට නව වසර සුබ වනු ඇත.

නව වසරේ අප ඉදිරිපිට ඇති අභියෝගය කොරෝනා වසංගත තත්වය පමණක් නොවේ. වසර ගණනාවක සිට වසරින් වසරට අප වෙතට එන තවත් අභියෝග රැසක් තිබේ.

ලංකාවේ ආර්ථිකය වසර ගණනාවක සිට පවතින්නේ ගොඩගත නොහැකි අර්බුදයකය. එම අර්බුදය විසින් රට ණය සාගරයක ගිල්වනු ලැබ තිබේ. ණය ගෙවාගත නොහැකි ආණ්ඩු ඒ සඳහා හිලව්වට ලංකාවේ වරාය, ඉඩම් ඇතුළු වටිනා සම්පත් විදේශ බලවේගයන්ට ලබා දෙමින් සිටියි. මෙමගින් අපේ රට ගොඩනැගිය හැකි අපේ රටේ සම්පත් අපට අහිමි වන අතර අප පරාධීන ජාතියක තත්වයට ඇද දමා තිබේ. අනෙක් අතට ඉඩම් ප්‍රශ්නය විශාල පරිසර විනාශයකටද මඟ හෙළි කර තිබේ. එසේම දරාගත නොහැකි ලෙස දෛනිකව බඩු මිල ඉහළ යාම නිසාත්, ජනතාවගේ ආදායම් බිඳවැටීම නිසාත් ජන ජීවිතය ‘කබලෙන් ළිපට’ වැටී තිබේ. කොරෝනා වසංගතය මෙම තත්වය තවත් උග්‍ර කර තිබේ.

රටේ ජනතාවගේ සාතිශය බහුතරයක් ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන බලයට ගෙනා ජනාධිපතිවරයා හා ආණ්ඩුව වසරක් ඉක්ම යන විටම සිය අසමත්කම පෙන්වා දී තිබේ. ජනතාව වෙනුවෙන් කිසිවක් කිරීමට අසමත් වූ පාලකයින් පසුගිය වසර යොදාගත්තේ තමන්ට බලය වැඩිකර ගනිමින් ඒකාධිපති පාලනයක් ගොඩ නැගීමටය. 20 වැනි සංශෝධනය මගින් බිහිකරගත් එම හිතුවක්කාරී ඒකාධිපති පාලනයෙන් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු හා ඇමතිවරුද බැටකමින් සිටිති. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල ලෙස කටයුතු කළ භික්ෂුන්වහන්සේ ඇතුළු සමහර කණ්ඩායම්වලටද නව ආණ්ඩුව එපා වී තිබේ.

ආණ්ඩුවේ දැක්මක් නැති, දුර්වල හිතුවක්කාරී හා උද්ධච්ච හැසිරීම නිසා ජන ජීවිතය අවුල් වෙමින් තිබේ. කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීමට අසමත්වීම නිසා ජනතාව විශාල පීඩාවකට ලක්ව සිටී. කොරෝනා සඳහා බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු වෙනුවට ආණ්ඩුව ජනතාව මිත්‍යාවට යොමු කර මහා විනාශයකට පාර කපා ඇත. දරුවන්ගේ අධ්‍යාපනය අවුල් ජාලාවක්ව තිබේ. කර්මාන්ත බිඳ වැටී ඇත. රැකියා අහිමි වී තිබේ. ගොවි ජනයා, ධීවර ජනයා පීඩාවට පත්ව සිටියි. එහෙත් ඒ කිසිවකට විසඳුම් නැති ආණ්ඩුව කල්පනා කරමින් සිටින්නේ තව තවත් බලය වැඩිකර ගැනීම ගැනය.

මෙවැනි වටපිටාවක් තුළ එළඹෙන නව වසර පොදු ජනතාවට කෙසේ නම් සුබ වේද? වසර 73ක් පුරා රැවටීමට ලක්වූ ජනයා මේ වසර තුළද රැවටීම පාලකයන්ගේ උපක්‍රමය වන විට රටට ජනතාවට සුබ වන්නේ නැත. එබැවින් දැන් නව වසර සඳහා කරන සම්ප්‍රදායික සුබ පැතීම්වලට එහා ගිය කාර්යයක් අප සැම හමුවේ තිබේ. ඒ, නව වසර හා අනාගතය සැබෑ ලෙසම සුබ කරගන්නේ කෙසේද යන්නය.

වසර 73ක ලංකාවේ ධනේශ්වර පාලන ඉතිහාසයේ අත්දැකීම් ගුරුකොට ගන්නේ නම්, විශේෂයෙන් ගෙවුණු වසරක අමිහිරි අත්දැකීම පාඩමකට ගන්නේ නම් මේ රැවටීමෙන් මිදී නව දේශපාලන මඟක යාමට ජනතාවට හැකි වනු ඇත. අප ඉදිරියේ පවතින සියලු අභියෝග හා ගැටලු ජයගත හැක්කේ මෙතෙක් රට ඇදගෙන ගිය බංකොලොත් සමාජ ආර්ථික මාවතෙන් වෙනස් වී නව දේශපාලන මඟකට යොමුවන්නේ නම් පමණි. ඒ සඳහා වමේ, ප්‍රගතිශීලී හා සැබෑ දේශප්‍රේමී බලවේගයක් සමග විශ්වාසයෙන් අත්වැල් බැඳගැනීම හැර අන් විකල්පයක් දැන් ජනතාවට නැත.

එබැවින් 2021 නව වසර සියලු අභියෝග දිනන රට හා ජනතාව සැබෑ ජයග්‍රාහී මාවතකට යොමු කරන, අලුත් දේශපාලන තීන්දු ගන්නා වසරක් බවට පත්කර ගන්නා ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන්ම ඉල්ලා සිටින අපි එම ජයග්‍රාහී ගමන වෙනුවෙන් නව වසරේ සැමට සුබ පතමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2021.01.01

 401 total views

කොරෝනා නිවාරණය සඳහා බෙහෙතක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස වෙත අදත් (20) සිය ගණනක පිරිසක් පැමිණීම නිසා දැඩි නොසන්සුන්තාවක් ඇති විය.

බෙහෙත ලබා නොදෙන බව දැනුම් දී ඇති පසුබිමක මෙලෙස ජනතාව පැමිණ බෙහෙත් ඉල්ලා සිටිය ද ධම්මික බණ්ඩාර ඒ ජනතාව අමතා ප්‍රකාශ කළේ බෙහෙත් ලබා දීමක් අද සිදුනොකරන බවත් ඉදිරියේ දී සැමට ගම් මට්ටමින් බෙහෙත් ලබා දෙන නිසා නිවෙස් වෙත යන ලෙසත් ය.

මේ අවස්ථාවේ එහි පැමිණ සිටි කාන්තාවක කාලි මෑණියන් ආවේශ වී මෙන් හැසිරුණු අතර පොලිසිය පැමිණ ජනතාව විසිරුවා හැරීමට කටයුතු කළේ ය.

කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගියේය.

මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 වර්ගයේ ගුවන් යානයකින් මෙම පිරිස පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය සඳහන් කළේය.

මෙම පිරිස දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි පිරිසක් බවත් මොවුන් සියලු දෙනා මාර්තු 10 වෙනි දිනට පෙර මෙරටට පැමිණි පිරිසක් බවත් වාර්තා වෙයි.

මෙම රැකිලාභීන් සියලු දෙනා කොරියාවට ගිය පසු එහිදීද දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය.