ගෝල්ෆේස් අරගලකරුවන් ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අරගලකරුවන් සමග සාකච්ඡා කර එම අරගලකරුවන් තම පක්ෂය සමග එක්කර ගැනීමට හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ ඉහළ නායකයන්ට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති නිසා එහි මූලික කාරණාවක් ලෙස අරගලකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද මහින්ද රාජපක්ෂ පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

2001 වසර වන විට ආර්ථික අර්බුදයක ගිලී ඍණ මට්ටමට වැටුණු රට නැවත ගොඩනැඟූවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ආ යළි පුබුදමු ශ්‍රී ලංකා (Regaining Sri Lanka)වැඩසටහන යටතේ බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එහිදී ජපානයෙන් රු. කෝටි 45 000ක ණය මුදලක් ලබා ගැනීමටත් රට පුරා අධිවේගී මාර්ග, සංචාරක කළාප ඇති කිරීමටත් හැකි වූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය පරාජය කිරීමට හැකි වූයේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැඟූ නිසා බව ද අකිල විරාජ් අවධාරණය කළේය.

එජාප 76 වන සංවත්සර සමුළුව අමතමින් ඊයේ (06) ඔහු මේ බව සඳහන් කළේය.

තාත්තා සමග තරහ වී ගෙදරින් ගිය පුතාට නැවත තාත්තා ළඟට පැමිණි විට දැනෙන හැඟීමක් තමන්ට දැනුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ එජාප 76 වන සංවත්සරයට සහභාගී වෙමිනි.

නැවත සජබයට නොයන බවත් අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසට ද නැවත එජාපයට එකතු වන්නට ඉඩ ලබා දිය හැකි බවයි, හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේ.

තීණ්දුවක් ගත නොහැකි ආසයි බයයි දේශපාලනයෙන් පලක් නොමැති බවත් තනි ආසනයක් තිබූ රනිල් වික්‍රමසිංහ මාසයක් ඇතුළත ආසන 134ක කැමැත්ත දිනා ගනිමින් රටේ ජනාධිපති ධූරයට පත් වූ බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

රට දැඩි ආර්ථික අර්බුදයක තිබෙන මොහොතක ඉන්දියාවට ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු කොන්දේසියක් නොමැතිව ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබා ගත් රටේ ජනතාවට අමතකව ඇතැයි සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් කාරියවසම් පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ගිය කල්ලිවලට මෙන්ම විපක්ෂයට ද ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් වුව ද තම පක්ෂයට ඇති ශක්තිය රාජපක්ෂ දේශපාලනය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ දේශපාලනය නිර්භීත ලෙස ඉදිරියට ගෙන යන බව ඔහු අවධාරණය කළේය.

එම පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් සාගර කාරියවසම් මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“අපි පොරොන්දුවක් වෙනවා කිතුණු කතෝලික ජනතාවට, අපේ අති උතුම් කාදිනල්තුමාට වගේම මේ රටේ ප්‍රජාවට සමගි ජන බලවේග රජයක් තුළ නිර්ව්‍යාජ, විවෘත දේශපාලන ඇඟිලි ගැසීම්වලට ලක් නොවුණ බොහොම පිරිසිදු, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සුලමුල මේ රටේ ජීවත් වන හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙන ආකාරයේ පරීක්ෂණයක් පවත්වනවා විතරක් නෙමෙයි, ඒවායේ මොළකරුවන් සියලුම දෙනාට, සහභාගී වූ සියලුම දෙනාට නීතිය යටතේ ලබා දිය හැකි දැඩි දඩුවම් පමුණුවන්නට අපි අනිවාර්යෙන්ම කැපවෙනවා, ඇප වෙනවා. සත්තයි කියන එක මම මේ අවස්ථාවේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා (03) කටාන සමගි ජන බලවේග ආසන බල මණ්ඩලය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

1980 පසු ඩුබායි දේශය වෙළඳ නාවික ගුවන් තාක්ෂණික මූලස්ථානයක් ලෙස දියුණුවට පත් වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකාව එම තත්ත්වයට ගෙන ඒමට තමන් ද බලාපොරොත්තු වූ බවයි, හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේ.

කෙසේ වුව ද රාජපක්ෂ පවුල ඉදිරියට පැන ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන් ම විනාශ කළ බවට ද පාඨලී චම්පික චෝදනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන් හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

යාපනයේ පාන් මිල රු. 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පෙර සේම රුපියල් 200 බැගින් පාන් ගෙඩියක් අලෙවි කරන බවත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් පවසයි.

පසුගිය 03 වනදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කියා සිටියේය.

පාන් නිපදවීමට අවශ්‍ය තිරිඟු‍ පිටි ප්‍රීමා සමාගම විසින් මිල ඉහළ දමා නොමැති බව කී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා, තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිඟු‍ පිටි මිටියක් රුපියල් 12500 කට ලබා දෙන බවත් පැවසුවේය.

කොළඹ බේකරි හිමියන්ට වෙනත් සමාගම්වලින් හා ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන තිරිඟු‍ පිටිවල මිල ගණන් ඉහළ යෑම හෙතුවෙන් ඔවුන් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වාද සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊට සරිලන ආකාරයට ඉහළ දැමූවද යාපනයේ කිසිම පළාතක පාන් හා සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බව කන්දසාමී ගුණරත්නම් අවධාරණය කළේය.

තම වචනය විශ්වාස කළ ජනතාව 2019 වසරේ දී ලක්ෂ 69ක් ඡන්ද ලබා දී ජනාධිපතිවරයෙකු පත් කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එහෙත් ජනාධිපතිවරයා වෙනුවට පවුලේ සිහින ඉටු කිරීමට ගොස් ජනතා පැතුම් පොඩි පට්ටම් කොට දැමූ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

නැග්ග බස් එක වැරදුණු හෙයින් බසයෙන් බැස්ස නමුත් සිය ගමන යන බවත් උදය ගම්මන්පිල අවධාරණය කරයි.

පවුල් රජ කළ නායකයින් රජ කළ යුගය අවසන් බවත් ජනතාව රජ කරවන යුගය අද අරඹන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද (04) හවස ස්වාධීන පක්ෂ එකතුව විසින් ගොඩනඟන උත්තර සභාගය ජනගත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.