බස් රථ ගිනි තැබූ සමාජවාදී විප්ලවකාරයන් තමන් බස් රථ බෙදන බවට පැමිණිලි කර ඇති නිසා පාසල් සඳහා බස් රථ ප්‍රදානය තාවකාලිකව නවතා දමන්නට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මොරවැව පැවැති ජනහමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

රුපියල් මිලියන 344ක් වටිනා බස් රථ 70ක් රජයේ පාසල්වලට තමන් මේ වන විට පරිත්‍යාග කර තිබෙන බව කී විපක්ෂ නායකවරයා, සමාජවාදී විප්ලවකාරීන්ට මේ වැඩපිළිවෙළ බලා සිටීමට නොහැකි වී ඇතැයි ද කීවේය.

තම පියා විපක්ෂයේ සිටි කාලයේ සිදු කළාට වඩා වැඩි වැඩ කොටසක් තමන් සිදු කරන බව කී සජිත් ප්‍රේමදාස, මේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ බස් ගිනි තියපු පිරිස බව ද කීවේය.

පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් ඇප තැන්පත් කර නැති 62ක් ඇති අතර, ඒවා සඳහා ද අද (20) දිනයේදී ඇප තැන්පත් කරන බව මෛත්‍රීපාල සිරිසේන කීවේය.

නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බව කී හිටපු ජනපති සිරිසේන, එම බැඳීමෙහි කිසිදු බිඳීමක් සිදුව නැතැයි ද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමේ ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ හා එක්ව නිදහස් ජනතා සන්ධානය ගොඩනැගුවත්, නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළ බව ද සිරිසේන මහතා පැවසීය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ඉල්ලා තමාට පිංසෙණ්ඩු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් පිරිනමන්නේ ලක්ෂ දෙකකට වැඩි හමුදාවක් පාලනය කළ හමුදාපතිවරයෙකුට බවත් සරත් ෆොන්සේකාගෙන් බේරෙන්නම බැරි තැන ඔහුට එම තනතුර ලබා දුන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

සිය හමුදා මූලස්ථානයට පැමිණ සතුරා පහර දී බඩවැල් පවා එළියට පැන, වෛද්‍යවරුන් නිසා දිවි ගලවා ගත් සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂව පිළිබඳ කතා කිරීමට අයිතියක් නැති බව ද ඔහු සඳහන් කළේය.

සරත් ෆොන්සේකා රටේ මූලස්ථානය පමණක් නොව තම ශරීරය පවා සතුරාගෙන් රැකගන්නට අසමත් වූව ද තමා සහරාන් කල්ලිය සති තුනක් ඇතුළත සමූලඝාතනය කළ බවයි, මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී සරත් ෆොන්සේකා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

දෙසැම්බර් මාසය තුළ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙයි.

මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩි වීමක් වන අතර පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමකි.

මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර ඒ සමග නිල සංචිත ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා රජයට බල කරන රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ රජයට දැනුම් දී ඇත.

බටහිර කඳවුරේ ප්‍රබල රටවල් පහක් හා ආසියාතික රටවල් දෙකක් දැනටමත් එම මෙහෙයුමට සක්‍රිය දායකත්වය දී ඇතැයි හෙළි කරගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට ජනමතයක් ඇති කිරීම ඇතුළු කාරණා සම්බන්ධව එම රටවල් දේශපාලන පක්ෂ සමග දිගින් දිගට ම රහස්‍ය සාකච්ඡා පවත්වන බව ද හෙළි වී ඇත.

එක් බටහිර රටක් දෙමළ පක්ෂවලට සහය දක්වමින් මැතිවරණය සඳහා සූදානම් වන බව ද හෙළි වී තිබේ. කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගත නොහැකි වනු ඇති බව තක්සේරුව වී තිබේ.

රටේ ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයින් අතරින් ලක්ෂ 6ක් පමණ රාජකාරී වෙලාවෙන් අනතුරුව සිය රාජකාරී සිදුකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. එය ප්‍රතිශතයක් ලෙස 40%කි.

මෙලෙස වැඩ කල් දැමීමේ මූලික අරමුණ අතීකාල දීමනා ලබා ගැනීම වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල මෙම තත්ත්වය බරපතළ ලෙස දැකගත හැකි බව ද සඳහන් කරයි.

කෙසේ වුව ද පසුගිය වසර අවසානයේ 25 000ක පමණ රාජ්‍ය සේවක පිරිසක් එකවර විශ්‍රාම ගැන්වීම නිසා ඉදිරියේ දී මෙලෙස වැඩ කල් දමමින් අතීකාල ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය  පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මහ ලේකම්වරයා කොළඹදී ඊයේ (30) මේ බව කීය.

මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියලු ම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

යළිත් විදුලිබිල වැඩිකළහොත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව කී මන්ත්‍රීවරයා, ආදායම් වැඩිකර ගැනීම සඳහා වෙනත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බව ද සඳහන් කළේය.

විදුලිබිල වැඩි කළහොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලටයාමට නොහැකි වන බව කී මන්ත්‍රීවරයා එබැවින් ජනයා තවදුරටත් පීඩාවට පත්නොකර මත්පැන් හා මත්ද්‍රව්‍යවල බදු වැඩිකර ආදායම් සොයාගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

ජගත් කුමාර මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.