ජාතික රජයක් ගොඩ ගොඩනැඟීම මඟින්, ඇමතිවරුන් සංඛ්‍යාව සඳහා වන සීමාව ඉවත් කිරීමට ප්‍රතිපාදන සැලසීම බරපතල කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
”අද මේ සභාවට පළමු වන වර ඉදිරිපත් කළ විසි දෙවන සංශෝධනයෙහි, දහනව වන සංශෝධනයේ තිබුණ, අප දකින ආකාරයට නම් දුර්දාන්තම සංශෝධනයක් නැත්නම් වගන්තියක් ඇතුළත් ව තිබීම අතිශයෙන් ම කනගාටුදායක බව නොකියා ම බෑ.
ඊට පෙර ගරු අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කළ විසි දෙවන සංශෝධන කෙටුම්පතට ඇතුලත් නොවූ වගන්තියක් නැවතත් ඇතුල් කොට තිබෙනවා. ඒ තමයි ජාතික රජයක් ගොඩ ගොඩනැඟීම මඟින්, ඇමතිවරුන් සංඛ්‍යාව සඳහා වන සීමාව ඉවත් කිරීමට ප්‍රතිපාදන සැලසීම.
ජනාධිපතිතුමා අවංකව කටයුතු කරන නමුත් එතුමා ලෝකය දෙස බලන්නේ, රට දෙස බලන්නේ, මේ පාර්ලිමේන්තුව දෙස බලන්නේ, සමාජයත් එක්ක කටයුතු කිරීමේ දී විවිධ අය දිනාගත හැක්කේ, ඔවුන් ගේ සහයෝගය ගත හැක්කේ ඔවුන් වෙත තනතුරු ප්‍රදානය කොට, නැතිනම් අයථා ආදායම් මාර්ග ප්‍රදානය කොට, නැතිනම් ඔවුන් දූෂණයට පොළඹවා යයි කියා ද?
එ සේ නම්, අපේ රටේ අනාගතය ඉතා අඳුරු වනු නිසැකයි. එසේ වුවහොත් අද ප්‍රසංශාවට බඳුන්වන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති දේශනය, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ධර්මිෂ්ඨ සමාජය පිළිබඳ අදහස මෙන් ම පිළිකුලට හා ද්වේෂයට බඳුන් වන්නක් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.
අද අප පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදා ගැනීමට මේ ආකල්පය කිසි ලෙසකින්වත් උපකාරී නොවන බව ප්‍රකාශ කරමින්, මේ ගැන නැවත සිතා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමා, අධිකරණ ඇමැතිතුමා ඇතුළු සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටීමට කැමැතියි.
මේ අවංකත්වය හා කැපවීම මත අප රට පත් ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා එකමුතු ව කටයුතු කළ යුතු මොහොතක් බව අවබෝධ කරගෙන, ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ මේ අදහස් දැක්වීම අවසන් කිරීමට කැමතියි.”
යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග ඒ බව සඳහන් කලේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමිනි.