20 ඉරාජ්ගේ සිංදුවක් වගේ! – රෝහිණී

September 16, 2020 at 9:51 am | by emanisalk

‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ’ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය’ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තිබේ යැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

ඇය මේ බව සඳහන් කළේ රත්තොට, කබරගල වත්තේදී පැවති උත්සවයක් අමතමිනි.

“තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චරද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්න, විමසන්න, පරීක්ෂා කරන්න තියෙන සියලු මාවත් අවහිර කරන්න 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා’

20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ’ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා. අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි. අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කළාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි.

ඒ විදිහට පාර්ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා.

මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ගහන්න, වසර 3 ක සිර දඬුවමක් දෙන්න දැන් පුළුවන්. මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි. මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේදී කැපුවා. දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවටද ? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය’ කියලා කියනවා. මේ වගන්තිය ඉවත් කරලා තියෙනවා. මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ. ලියපු කෙනෙක් නෑ, හදපු කෙනෙක් නෑ. කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්’.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස