1949 අපි එංගලන්තයටත් ණය දුන් රටක්…! නමුත් අද අපි ලෝකෙ වටේ හිඟා කනවා…! – රනිල්

February 21, 2021 at 10:47 pm | by emanisalk

1949 ඩී. එස්. සේනානායක අගමැතිතුමා විසින් නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහා බ්‍රිතාන්‍යයට රන් පවුම්වලින් ණයක් නිකුත් කළේය. එවැනි ඉතිහාසයක් තිබූ අපි අද වනවිට වෙන රටවලින් මුදල් හිඟා කන හිඟන ජාතියක් බවට පත් වෙමින් සිටිමු. මේ අනුව නිදහසින් පසු අප ගිය ආර්ථික ගමන කුමක්ද යන්න අපි අපේම හෘද සාක්ෂිවලින් විමසා බලමු.

පසුගිය කාලයේ ආණ්ඩු ගණනාවක් විසින් මේ රට පාලනය කරන ලදී. එහෙත් ඒ කිසිදු ආණ්ඩුවක් වර්තමාන ආණ්ඩුව පිටරටවලින් මුදල් ණයට ඉල්ලන ආකාරයට මුදල් ඉල්ලා නැත. ශ්‍රී ලංකාව පිටරටවලින් ණය ලබාගත් ක‍්‍රම කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න හිතවත් රටවලින් ලබාගත් හදිසි ණය මුදල්ය. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කාලීන ණය ලබා ගැනීම සිදු විය. එසේම ඇතැම් රටවලින් දිගු කාලීන පදනම යටතේ ද ණය ලබාගෙන තිබේ. එසේම ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළෙන් මුදල් ලබාගත් අවස්ථා ද ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීමෙන් මුදල් ලබා ගත් අවස්ථා ද තිබිණි. නිදහසින් පසු බිහි වූ ආණ්ඩුවලින් වැඩි හරියක් ක්‍රියාත්මක වුණේ ඉහත සඳහන් ආකාරයටය.

එකල අපට තිබූ මූලික ප‍්‍රශ්නය වූයේ පිටරටවලින් අපට ලැබෙන ආදායම් හෙවත් විදේශ ආදායම් අඩු වීමය. 2015 දී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ සමූහය යහපාලන ආණ්ඩුව පිහිටුවීය. මෙහිදී යහපාලන ආණ්ඩුවට දරුණු ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදු විය. ඒ වූ කල්හි 2010 සිට 2015 දක්වා විවිධ රටවලින් ලබාගත් ණය සහ බැඳුම්කර ගෙවා ගැනීමට බැරිව ගොඩගැසී තිබීමය. මෙහිදී ජාත්‍යන්තර මට්ටමින් හටගත් සැකයක් වූයේ ණය මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් අපට තිබේ ද යන්නය. එහෙත් යහපාලන ආණ්ඩුව දූරදර්ශී ලෙස ක්‍රියා කළ නිසා 2017 වනවිට ණය ගෙවීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි විය.

2018 වනවිට අප විසින්ම උපයන ලද ආදායම්වලින් ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමේ හැකියාව ලැබී තිබිණ. එසේම අපට සුළු අතිරික්තයක් ද තිබිණ. එහෙත් එතෙක් ලබාගෙන තිබූ බැඳුම්කර නිසා යම් ප‍්‍රශ්නයක් මතුව තිබිණ. බැඳුම්කර සඳහා විශාල මුදලක් ගෙවිය යුතුව තිබූ අතර එම මුදල් ගෙවමින් නැවතක් බැඳුම්කර මුදල් ලබා ගැනීමේ තත්ත්වයකට රට තල්ලු වී තිබිණ. එහෙත් අපේ ආර්ථිකයේ කිසියම් මූල්‍ය අතිරික්තයක් තිබූ බැවින් තවත් අවුරුදු පහකට පසු බැඳුම්කර ආපසු ගෙවීමේ හැකියාව නිසි ලෙස පවත්වාගෙන යෑමට හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

2015 බලයේ පත්වූ යහපාලන ආණ්ඩුවට ණය දීමට ජාත්‍යන්තරය තුළ කිසිදු චකිතයක් තිබුණේ නැත. එහෙත් අද වනවිට ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළේ ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම රටක් කෙටි කාලීන විදේශ වෙළෙඳපොළෙන් ණය ගනී. එසේ ගන්නා ණය ස්වකීය ආදායම් යථා තත්ත්වයට පත් වූ සැණින් ආපසු ගෙවීම රටවල්වල සිරිතයි. එහෙත් ඒ තත්ත්වයට යෑමට පවා අද අපිට නොහැක. දිගු කාලීන ණය මෙන්ම කෙටි කාලීන ණය පිටරටවලින් ලබා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට අපි මුහුණපා සිටිමු. අපේ විදේශ ආදායම් ඉතා භයානක ලෙස අඩු වී තිබේ. මේ නිසා අපට වඩාත් පුළුල් හා ගැඹුරු ලෙස අපේ රට සහ එහි ආර්ථිකය ගැන සිතීමට සිදුව තිබේ.

අප දේශප්‍රේමීන් ද? අපේ දේශපාලනඥයන් වැඩි දෙනා කතා පවත්වන විට දේශනා කරන්නේ දේශෙප්‍ර්මයයි. එවැනි දේශප්‍රේමයක් ඇත්නම් රටක් මේ ආකාරයෙන් සිඟන මට්ටමකින් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මතු වේ. අතීතයේ මේ රටේ තිබූ ශ්‍රී විභූතිය ගැන කතා කිරීමෙන් පමණක් සෑහීමට පත් විය නොහැක. තුන්සිංහලය වේවා, පරාක‍්‍රමබාහු රජතුමා වේවා, හයවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ශක්තිමත් රාජධානිය වේවා ඒ කිසිවක් ගැන කතා කිරීමෙන් මේ වෙලාවේදී දේශපාලන ප‍්‍රචාරයට එහා ගිය දෙයක් ලබා ගැනීමට නොහැක. අද තිබෙන ලංකාව අතීත සිංහල බෞද්ධ රාජ්‍යය තිබූ පරිද්දෙන් ශක්තිමත්ව තිබිය යුතුව බව ද කිසිදු තර්කයක් නොවේ. අතීත ලංකාවේ තත්ත්වයට මේ රට යළි ප‍්‍රතිෂ්ඨාපනය කළ හැකි නම්, එමගින් සියලු ප‍්‍රශ්න විසඳිය හැකි නම් අප විසින් සොයා බැලිය යුත්තේ එය කළ හැක්කේ කෙසේ ද යන්නයි. ඒ සඳහා අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

රටක නැඟී සිටීම සම්බන්ධයෙන් අපට ඇති ආසන්නතම උදාහරණය සිංගප්පූරුවයි. මෙයට දශක කිහිපයකට පෙර සිංගප්පූරුව යනු බීමට වතුර පවා නොතිබුණු ධීවර ගම්මානයකි. ඒ රටට අදටත් කෘෂිකර්මයක් නැත. එහෙත් ඔවුහු වාර්ෂික විශාල ආදායමක් උපයති. දේශපාලන සටන් පාඨවලින් රටක් සංවර්ධනයක් කළ නොහැක. දේශපාලන සටන් පාඨ කීවාට කිසිදු ආකාරයකට මුදලක් නොලැබේ. මේ සඳහා තිබෙන හොඳම උදාහරණය ජපානයයි. දෙවන ලෝක යුද්ධයේදී ජපානය බිමටම සමතලා විය. පරමාණු බෝම්බ දෙකක්ම එරටට දමා තිබිණි.

පසුව ජපානයට බෝම්බ දමා විනාශ කර ඇමරිකාවම ඒ රට නඟාසිටුවීමට ආධාර දෙන්න පටන් ගත්තේය. ඔවුහු ස්වකීය දේශීය කර්මාන්ත දියුණු කර එම භාණ්ඩ සමග ලෝක වෙළෙඳපොළට ගොස් ආදායම් උපයමින් රට දියුණු කරන්නට පටන් ගත්තේය. 1970 වන විට ජපානය විසින් ලෝක වෙළෙඳපොළ ස්වකීය ග‍්‍රහණ ගන්නා ලදී. ඔවුහු සිය අතීත ශ්‍රේෂ්ඨත්වයට පමණක් සීමා වී නොසිටියහ. ජපානය යනු වසර දහස් ගණනක සංස්කෘතියක් ඇති බෞද්ධ රටකි. මීට අවුරුදු දහස් ගණනකට පෙර එරට කලාපයේ ඉතා බලවත් බිම් කඩක් බවට පත්ව තිබිණ. එසේ පටන් ගත් ගමන ඔවුන් කෙළවර කරන්නේ ලෝක යුද්ධයකට සහභාගි වීමෙනි. ඒ සහභාගිත්වය ප‍්‍රගතිශීලී සහභාගිත්වයක් නොව ප‍්‍රතිගාමී සහභාගිත්වයකි. අවසානයේදී ජපානය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය. ඇමරිකාව එරටට බෝම්බ හෙළීම කෲර ක්‍රියාවක් වුව ද ඔවුන් එසේ කළේ අවසාන යුද උපක‍්‍රමික කටයුත්තක් ලෙසය.

සමතලා වූ ජපානය දහනව වැනි සියවසේ තිබූ ජපන් අධිරාජ්‍යය ගැනවත් විසිවන සියවසේ තිබූ ජපන් අධිරාජ්‍යය ගැනවත් ඉන්පසු කලාපයේ බලවත් රටක් ලෙස සිටි ආකාරය ගැනවත් දේශපාලන සටන්පාඨ නොකියවා රට දියුණු කරන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ යුද්ධයෙන් විනාශ වූ රට නැවත ගොඩනැඟීමයි. මේ අනුව වසර 2010 වන විට ආසියාවේ ලොකුම ආර්ථිකය බවට පත් වීමට ජපානයට හැකි විය. චීනය ජපානය අභිබවා ලෝක ආර්ථික බලවතකු ලෙස ඉදිරියට යන්නේ 2016 න් පසුවය. ජපානයේ විශේෂත්වය වූයේ ස්වකීය වෙළෙඳ ආර්ථිකය බෞද්ධ පසුබිමක් සහ බෞද්ධ සාරධර්ම මත සකස් කර ගැනීමය. තායිලන්තය දියුණු වුණේ ද මේ ක‍්‍රමයටම ය. ඔවුන්ගේ ආර්ථිකයේ හැම අවස්ථාවකම බෞද්ධ සලකුණු ඇත.

1971 දී බංගලිදේශය යනුවෙන් රටක් බිහි විය. බිහි වන අවස්ථාවේදී ඒ රටට කිසිදු මුදලක් තිබුණේ නැත. ඔවුන් සතු විදේශ විනිමය සියල්ල තිබුණේ පාකිස්තානයේ මහ බැංකුවේය. එයට හේතු වූයේ බංගලිදේශය පාකිස්තානයෙන් කැඞී වෙන්වී බිහි වූ රාජ්‍යයක් වීමය. බංගලිදේශය කලින් හඳුන්වනු ලද්දේ නැගෙනහිර පාකිස්තානය යනුවෙනි. ඔවුන්ට නාවික ව්‍යාපාරයක් ද තිබුණේ නැත. නැව් හමුදාවක් ද තිබුණේ නැත. ගුවන් හමුදාවක් ද නොවීය. ඔවුන් සතුව දේශීය කර්මාන්ත තිබුණේ නමුත් ඒ සියල්ලේම අධිකාරි බලය තිබුණේ පාකිස්තානය සතුවය. එහෙත් අද වනවිට බංගලිදේශය සතුව ලංකාවට වඩා විශාල නාවික හමුදාවක් ද ලංකාවට වඩා විශාල ගුවන් හමුදාවක් ද ලංකාවට නැති තරම් සල්ලි ද තිබේ. ඔවුන් කවදාවත් පිටරටවලින් හිඟාකන ලෙස පත් වුණේ නැත.

රනිල් වික්‍රමසිංහ

 136 total views,  1 views today

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස