06 වෙනිදා වර්ජනය පටු දේශපාලන උවමනාවකට…! අපි ⁣ඒවාට නෑ…! වෘත්තීය සමිති රැසක් ජනපති හමුවෙයි…!

May 4, 2022 at 7:10 am | by emanisa.lk

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනි දා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහායක් ලබා නො දෙන බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අද (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසූහ.

අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නො ව, දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබී ය.

පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව වේ. එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේදවලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ. එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නො තැබිය යුතු ය.

පසුගිය 28 වැනි දා පැවති වැඩ වර්ජනය නො තකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සියලු ම වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.

අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානිහු සහ වෘත්තිය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක් ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස