06% අරගලයට කැප වූ පුරසිංහ ආචාර්යතුමනි, ඔබට සුබ ගමන්….! – නලින්ද ජයතිස්ස….

July 7, 2021 at 9:09 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් අභාවප්‍රාප්ත ආචාර්ය ටෙරන්ස් පුරසිංහ පිළිබඳ තබන ලද ෆේස්බුක් සටහනකි. ආචාර්ය පුරසිංහ පසුගිය සමයේ සමගි ජන බලවේගය සමඟ සමීපව දේශපාලන කටයුතු කළේ ය.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ

මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න කාලෙ ආචාර්ය ටෙරන්ස් පුරසිංහ ඒ විශ්වවිද්‍යාලෙම දේශපාලන විද්‍යා අංශයේ ආචාර්යවරයෙක්. විශ්වවිද්‍යාලෙ තිබුණු බොහෝ දේශපාලන සංවාද, සම්මන්ත්‍රණ වල ඔහු ප්‍රමුඛ පෙළේ කථිකයෙක් වුණා. ශිෂ්‍යයන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන්, ශිෂ්‍ය මර්දනයට එරෙහිව ඔහු දිගටම පෙනී සිටියා. සමහර කාලවල අපේ විශ්වවිද්‍යාල පරිපාලනය අත්තනෝමතික, දරදඬු ලෙස හැසිරෙද්දී ඔහු ප්‍රගතිශීලි ආචාර්යවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ පැත්තෙ හිටගත්තා.

ඊට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ අරගලයේ පොදු වේදිකාවල, මාධ්‍ය සංවාදවල අපි එකට ඉඳලා තියෙනවා. අධ්‍යාපනයට 6%ක් වෙනුවෙන් දියත්වුණු FUTA අරගලය ඇතුලේ ඔහුගේ වෙහෙසකර කැපවීම අපි හොඳටම දුටුවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වුණා වගේම ලාංකීය සමාජයේ ඉදිරි ගමන වෙනුවෙන් සිදුකල දේශපාලන අරගලයට ඔහු දැක්වූ දායකත්වයත් තව බොහෝ කාලයක් යනකන් මතකයේ තිබේවි.

පුරසිංහ ආචාර්යතුමනි, ඔබ හදිසියේම නික්ම යන්නේ මිනිසකු ලෙස ඔබේ දායකත්වය ලාංකීය සමාජයට ලබා දීමට වෙහෙසකර උත්සාහයක යෙදීමෙන් අනතුරුවයි. ඔබට සුබ ගමන් !

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස