⁣අපේ සෞඛ්‍ය අංශවලට කොරෝනා පහසුවෙන් මර්දනය කරන්න පුළුවන්! ඒ සඳහා ජනතා සහාය ඕන ! – ජනපති

November 9, 2020 at 7:23 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වු බවත් මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියේ ය.

“වසංගත ව්යාවප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය.

කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය වුයේ නැහැ. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුයි.

කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන් ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වුවා. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැකියි. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින්ද ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි.

පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්.

PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කරනු ලබනවා. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයටගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස