ෆයිසර් එන්නත් ඒකාධිකාරය හමුදාවට දීම වැරදියි…! එන්නත වංචා කළ දොස්තරලටත් දෙනු…! – GMOA…

August 31, 2021 at 6:57 am | by emanisa.lk

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත්කරනය සම්බන්ධ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත් හෙතෙම අවධාරණය කරයි.

ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් එම් ආනෝල්ඩ්ගේ මූලිකත්වයෙන් පිහිට වූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බව ද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

එහෙයින් යුද හමුදාව වෙත එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය නැවතත් පල කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිඛිත දැනුම් දීමක් කළ බව ද ඔහු වැඩි දුරටත් කීවේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත ලබා දීමේ දී දිගින් දිගට ම සිදු කළ වංචනික එන්නත්කරණ නිසා ෆයිසර් එන්නත් ජනතාවට දීමේ ඒකාධිකාරය හමුදාවට පැවරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *