ළමා මනස විවිධ වෘත්තීන් වෙත ආකර්ශනය වන ආකාරයට අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි! – ගෝඨාභය රාජපක්ෂ

September 2, 2019 at 7:43 am | by emanisa.lk

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ළමුන් පිරිසක් අතරමග දී අතරමං වන්නේ නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති නිසා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජාතික පෙරපාසල් ගුරු වෘත්තීය ජාතික සම්මේලනයට ඊයේ (01) කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී සහභාගී වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් සම්මේලනය පැවති අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ වැඩි දුරටත් මෙසේ පැවසීය.

නිදහස් අධ්‍යාපනය ක්‍රිරියාත්මක වුවත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළට යන්න අපේ දරුවන්ට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් අපිට ඉදිරි ආර්ථික සැලැස්මක් ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. 21 වෙනි ශත වර්ෂය දැනුම හා ඥානය මුල් කරගත් ශත වර්ෂයක්. දැනුම හා ඥානය කෙරෙහි අවධානය යොමු නොකළොත් අපිට රැකියා උත්පාදනය කළ නොහැකියි. මේ නිසා අධ්‍යාපනය කියන්නේ රටක ජාතියක පැවැත්මට වඩාම වැදගත්වන ක්ෂේත‍්‍රයක්. අපේ දරුවන්ට පළමුවෙන්ම අයන්න කියලා දෙන පෙර පාසලේ අධ්‍යාපනයත් එ් විදියටම වැදගත්. අධ්‍යාපනයට විශාල ආයෝජනයක කළ යුතුයි. එ් වගේම පෙර පාසල් සංවර්ධනය සඳහාත් අපි අවධානය යොමු කරනවා.

පෙර පාසල් සදහා දරුවන් වැඩි වැඩියෙන් යොමු කිරීමත් එ් සඳහා දෙමව්පියන්ගේ අවධානය යොමු කිරීමත් අවශ්‍යයි. දැනටත් අපේ සමහර අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීමේ ප‍්‍රවණතාව අඩුයි. පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම දෙමව්පියන්ට අවබෝධ කරවිම සඳහාත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. විශේෂයෙන් අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සඳහා වූ ශිෂ්‍යත්ව ක‍්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු වී තිබෙනවා.

එ් වගේම පෙරපාසල් ගුරුවරියන්ගේ දැනුම වැඩිකර ගැනීම සඳහා අවස්ථාවන් සැපයීමත් රජයක වගකීමක් ලෙස අපි සලකනවා. පෙරපාසල්වල ගුණාත්මකභාවය වැඩිකරන්න නම් ගුරුවරියන්ගේ දැනුම වර්ධනය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා.

ඇමරිකාව ඇතුලූ විදේශීය රටවල් රැසක ආසියානු රටවල ගුරුවරු සේවය කරනවා. එ් රටවල දරුවන්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම යොදන්නේ අපේ ගුරුවරු. එ් රටවලදී අපේ ගුරුවරුන්ට විශාල පිළිගැනීමක් ලැබෙනවා විතරක් නෙවෙයි ඔවුන්ට දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාවන්ද ලැබෙනවා. මෙවැනි ක‍්‍රමවේදයන් අපේ රට තුළත් ක්‍රියාත්මක කිරීම මගින් ගුරුවරියන්ට දැනුම වර්ධනය කර ගැනීමේ අවස්ථාව සැලසිය යුතුයි.

මෙවැනි වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක වීම මගින් පෙර පාසල් ගුරුවරියන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර පෙර පාසල් විධිමත් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ආර්ථික සැලැස්ම සකස් කර ගැනීමට හැකි වෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුව තුළිනුයි.

උසස් පෙලට පෙනී සිටින සිසුන්ගෙන් ලක්ෂ දෙකක පමණ ප‍්‍රමාණයක් වසරකදි උසස්පෙළ සමත් වෙනවා. ඉනුත් 35000ක පමණ පිරිසකටයි විශ්වවිද්‍යාලයට ඇතුල්වීමේ හැකියාව ලැබෙන්නේ. මේ ක‍්‍රමයත් අපි වෙනස් කළ යුතුයිි. එ් අයුරින් කිසියම් සිසු පිරිසකට අතරමං වෙන්න සිදුවෙන්නේ නිසි අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැති නිසයි. විවිධ වෘත්තීන්වලට කුඩා කල සිටම ළමා මනස යොමු වන අයුරින් අපේ අධ්‍යාපනය සකස් විය යුතුයි.

රටේ ව්‍යාපාර ක්සේත‍්‍රයේ සිටින බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ රැකියා අවස්ථා තිබුණත් බොහෝ තරුණ තරුනියන් එ් අවස්ථා ලබා ගන්නේ නැති බවයි. බොහෝ වෘත්තීන් පහත් කොට සලකන මානසිකත්වයක් අපේ සමාජයේ පවතිනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට මේ තත්ත්වයන් වෙනස් කිරීමේ වගකීම පවතින්නේ ඔබ මතයි.

ආසියාව ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා. එ් නිසාම අපිට අවස්ථාවන් රැසක් හිමිව තිබෙනවා.රටේ ආර් ථිකය දියුණු කරමින් ඉහළ වේතනයක් ලබන තත්ත්වයක් අපිට උදාකර ගැනීමේ හැකියාව තිබෙනවා. එ් සඳහා අපේ තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි.

රට වෙනුවෙන් විශාල සේවයක් කරන ඔබ, රටේ ඉදිරි අනාගතය සැලසුම් කරන පිරිසක්. දරුවන්ගේ හැකියාවන් වගේම විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් ගැනත් ඔබලා අවධානය යොමු කරනවා. අපි ඔබගේ කාර්යය, සේවය අගය කරනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙනුත් විශේෂ වැඩපිළිවළක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඔබේ සේවය වෙනුවෙන් අපේ රජයක් තුළ නිසි ගෞරවය හිමි වන බව සඳහන් කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස