හෘද රෝග පිළිකා මට්ටු කරන්න කොස් කන්න

February 3, 2019 at 5:25 am | by admin

බත් වෙනුවට ආහාරයට ගෙන කුස පුරවා ගත හැකි අප රටට ආවේණික හෙරලි හෙවත් කොස් වල ඇති බොහෝ දෙනා නොතකන කොස් ඇට ප්‍රෝටීන් වෙනුවට ආදේශකයක් ලෙස ගත හැකි පෝෂණීය කොටසක් බව බටහිර පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.

මෙක්සිකෝවේ නොයාරිට් විශ්වවිද්‍යලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව කොස් සැකසීමේදී බොහෝ රටවල් ඉවතලන කොස් ඇටවලින් ප්‍රෝටීන් වෙනුවට භාවිත කළ හැකි ප්‍රෝටීන් විශේෂයක් ලබා ගත හැකි බව සොයාගෙන ඇත.

මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහණයන් සිටින රටවලට වැදගත්වූ මෙම අධ්‍යයනයෙහි වාර්තාව ‘ජර්නල් ඔෆ් ෆුඞ්’ ජාත්‍යන්තර සගරාවෙහි පළ කර තිබේ.

අල්ට‍්‍රාසවුන්ඞ් නමැති ප‍්‍රතිකාරකයක් හරහා පර්යේෂකයන් කොස් ඇටවලින් අදාළ ප්‍රෝටීන් විශේෂය ඉවත් කරගෙන ඇති අතර එම ප්‍රෝටීනය තවදුරටත් සකස් කරගෙන තිබේ.

මෙසේ කොස් ඇටවලින් ඉවත් කර ගත් ප්‍රෝටීනයේ පවතින ක‍්‍රියාකාරී අමුද්‍රව්‍ය මෙන්ම ඒවායේ පෝෂණීය පදාර්ථයන් පිළිබඳව තවදුරටත් හඳුනා ගැනීමේ අරමුණෙන් පර්යේෂකයන් රසායනික ද්‍රව්‍යයන් ද උපයෝගී කරගෙන තිබෙන බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

පර්යේෂකයන්ට අනුව කොස් ඇටවල පවතින ප්‍රෝටීන් විශේෂයෙහි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයන් අඩංගු වන අතර එම ප්‍රෝටීනය ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ලයන් වන ‘තයිරොසීන්’, ‘ත්‍රෙයෝනයින්’ හා ‘ලයිසීන්’ වලින් අනූනය. මෙම ඇමයිනෝ අම්ලයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෛනිකව ලබාගත යුතු බවට නිර්දේශ කර ඇති ප‍්‍රමාණයන්ගෙන් කොස් ඇටවල අන්තර්ගතවීම විශේෂත්වයකි.

කොස් ඇටවල අඩංගු ප්‍රෝටීන් පදාර්ථය සෝයා හා කඩලවල අඩංගු ප්‍රෝටීන් ප‍්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව අනාවරණය වී ඇති අතර මෙම ප්‍රෝටීන් විශේෂය (කොස් ඇටවල පවතින) ජලය හා තෙල් සමග මිශ‍්‍ර කර පාන් හා වෙනත් බේක් කළ හැකි ආහාරයන් සකසාගත හැකි බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ. එමෙන්ම පාන වර්ග සකසා ගැනීමටත් පෝෂණීය අතුරුපස වර්ග මෙන්ම මස් වර්ග සැකසීමේදීද අදාළ ප්‍රෝටීනය සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍යයක් ලෙස එක්කර ගැනීමේ හැකියාව ඇති බව හඳුනාගෙන තිබේ.

මෙම කොස් ඇටවලින් ලබා ගන්නා ප්‍රෝටීනය පාන්, කේක්, අතුරුපස සඳහා යොදන ටොපින්ග්ස්, විප්ක‍්‍රීම්, සලාද සැරසුම් හා මාංශ නිෂ්පාදනයන් සඳහා ද යොදාගත හැකි බව හෙළිවී ඇත.

පර්යේෂකයන් ප‍්‍රධාන වශයෙන් ප්‍රෝටීන් ආදේශකයක් ලෙස හඳුනාගත හැකි කොස් ඇට මෙන්ම කොස් පලතුරු බහුවිධ පෝෂණ පදාර්ථයන්ගෙන් සපිරි ආහාරයකි.

බටහිර රටවල පවා කොස් ගෙඩිය හඳුන්වනුයේ මස් මාංශවලට ආදේශකයක් ලෙස භාවිත කළ හැකි විවිධ රසයන්ගෙන් යුතු පෝෂ්‍යදායී පලතුරක් ලෙසයි.

කොස්වල, ඇපල්, අන්නාසි හා පෙයාර්ස් යන පලතුරුවල රසයන් පවතින බවත් බටහිර පර්යේෂකයන් පවසනුයේ එය ඉදුනු විට වරකා ලෙස භාවිත කළ හැකි බැවිනි.

බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ කොස් මදුළු ආහාරයට ගැනීමෙන් ශරීරයේ වැඞීමට අත්‍යවශ්‍ය විටමින් ඒ, විටමින් සී, මැග්නීසියම්, පොටෑසියම් හා මැංගනිස් යන පෝෂ්‍ය පදාර්ථයන් යහමින් ශරීරයට ලබාගත හැකි බවයි.

මේ අනුව කුස පිරවීමට රසැති ගුණැති ආහාරයක් වන කොස් ප්‍රෝටීන්වලින් අනූන වීම නිසා වර්තමාන සමාජයේ පවතින මන්දපෝෂණයට ද විසඳුමක් ලෙස භාවිත කළ හැකි ආහාරයකි.

පිළියෙල කරන ලද කොස් අහුරක් වරක් ආහාරයට ගැනීමේදී ග‍්‍රෑම් 3 ක් දක්වා වූ ප්‍රෝටීන් ප‍්‍රමාණයක් ශරීරයට ලබාගත හැකි බව අනාවරණය වී තිබේ. එම ප්‍රෝටීන් ප‍්‍රමාණය ඇපල් හා අඹවල අඩංගු ප්‍රෝටීන්වලට වඩා වැඩිය. ප‍්‍රතිඔක්සිකාරකයන් අඩංගුව පැවතීම නිසා කොස්වලින් ලැබිය හැකි සෞඛ්‍ය ප‍්‍රතිලාභයන් ප‍්‍රමාණය අධිකය.

හෘද රෝග හා පිළිකාවන්ට මුල් වන ආතතිය හා ඉදිමුම් තත්ත්වයන් ඇතිවන ෙසෙල කොස්වලින් ආරක්‍ෂා කරගත හැකිය.

අධික ලෙස තන්තු (ෆයිබර්) අඩංගුව පැවතීම නිසා ශරීරගත සීනි ප‍්‍රමාණය ද පාලනය කිරීමේ හැකියාව කොස් ආහාරය සතුව ඇත. මේ අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ට ද කොස් යෝග්‍ය ආහාරයකි. කොස් ගසෙහි කිසිදු කොටසක් අපතේ දැමිය නොහැකි බවට පැරණි ජනවහරෙහි මතයක් පවතී. එය සැබෑවක් වන බව මේ වනවිට වෙනත් වෛද්‍ය ක‍්‍රම පෙන්වා දී තිබේ.

ඉන්දීය සාම්ප‍්‍රදායික වෙදකමෙහි ඇදුම, පාචනය හා ආමාශගත තුවාල සඳහා ප‍්‍රතිකාර කිරීමේදී කොස්වල මුල් උපයෝගි කර ගනී.

අනෙකුත් පලතුරුවට වඩා කොස් සෑම අතින්ම ආරක්‍ෂාකාරී පලතුරක් බව මේ වනවිට බටහිර පර්යේෂකයන් පිළිගෙන ඇත්තේ මෙම අධික සෞඛ්‍ය ප‍්‍රතිලාභයන් හේතුවෙනි.

අපේ පැරැන්ණන් විසින් බත් වෙනුවට කොස් තම්බා ආහාරයට ගෙන ඔප්පු කළ එම පලතුරෙහි පෝෂ්‍යදායී බව බටහිර පර්යේෂකයන් විසින් තව දුරටත් තහවුරු කිරීමෙන් පෙනී යනුයේ අප රටට විදේශයන්ගෙන් ගෙන එන පලතුරුවලට වඩා වැඩි පෝෂණයක් කොස් හරහා ලබා ගත හැකි බවයි.

සෑම විටම බත් මතම යැපෙමින් රෝගී වූ පිරිසක් බිහි කරනවාට වඩා පෝෂණීය කොස් හා කොස් ඇට යහමින් ආහාරයට එක්කර ගැනීමට ජනතාවට අනුබල දීමත් කොස් වගාකරුවන් ආරක්‍ෂා කරමින් කොස් වගාව රට තුළ තවදුරටත් ප‍්‍රචලිත කිරීමත් බලධාරීන් සතු යුතුකමක් හා වගකීමකි.

ඒමන්ති මාරඹේ
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස