හිටපු ජනාධිපතිනියගේ දැවැන්ත වංචා යට ගැසීම ගැන වාසුදේව ප්‍රශ්න කරයි!

February 9, 2019 at 3:54 am | by admin

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2005 වසරේ පෙබරවාරි 1 වැනි දින කොළඹ වරායේ අක්කර 9ක පමණ ඉඩම පැවැරීම මගින් ශ්‍රී ලංකා රජය වෙත රු. 1,199,362,500ක මුදලක් ගෙවූ බව සඳහන් වන නමුත් පාර්ලිමේන්තු කෝප් කමිටු විමර්ශනයේදී 2006 අගෝස්තු මස මුදල් අමාත්‍යාංශයේ ලිපියකින් එම ඉඩම සඳහා එවැනි කිසිදු මුදලක් රජයේ භාණ්ඩාගාරයට නොලැබුණු බව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එසේම එම ඔප්පුව ව්‍යාජ සහ වංචනිකද යන්න නිගමනය කළ යුත්තේ නීතිපතිවරයා මිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොවන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බැඳී සිටින්නේ කරුණු විමර්ශනය කොට නීතිපතිවරයාව දැනුවත් කිරීමට බවත් මන්ත්‍රීවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනවිරත්න මහතා වෙත යැවූ ලිපියක සඳහන් කර ඇත.

මීට අමතරව ඉහත දිනයන්ට අදාළව තමා යොමු කළ ලිපි මඟින් වෝටර්ස් එජ් ගනුදෙනුවලදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් මහා පරිමාණ ඉඩම් ප්‍රමාණයක් හිතවතුන් සුළු පිරිසකට ප්‍රශ්නගත ලෙස විකිණීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ SE(FR)352/2007 නඩුවෙන් අවලංගු කොට ඇයට රුපියල් මිලියන 3ක් සහ ඇයගේ හිතවතුන්ට තවත් මිලියන ගණනක් රජයට ගෙවීමට නියෝග කළ බවද ඔහු මෙම ලිපිය මඟින් පෙන්වා දෙයි.

මෙම කරුණු පිළිබඳව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබියදීත් තමා යොමු කළ ලිපිවලට අනුව විමර්ශන කටයුතු නොකළේ මන්දැයි මෙම ලිපිය මඟින් මන්ත්‍රිවරයා විමසයි. හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ සිදු වූ වංචා ගැන වික්ටර් අයිවන් චෞර රැජිණ නමින් පොතක් ද ලීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *