හරි දේ කිරීම විශාාල අභියෝගයක්….! ඊට එක්ව මුහුණ දී අරමුණු ජයගමු…! – ජනපති….

October 21, 2021 at 9:34 pm | by emanisa.lk

හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ගොවිජන සේවා නිලධාරීන් සමග අද (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි දී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය. පරිසරයත්, මහජන සෞඛ්‍යාරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි.

හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නොව පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුම්වත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවිට එම ගැටලු විසඳීමේ දී විශේෂඥ සහාය ලබා ගැනීමේ හැකියාව උදා වන බව ද සඳහන් කළේය.

හරිත කෘෂිකර්මාන්තයට අවතීරණ වීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැකියි. කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. දියර නයිට්‍රජන් ඉදිරියේ දී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරන බව ද හෙතෙම පවසයි.

නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුම්වත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බව පැවසූ ගොවිජන සේවා නිලධාරීන් ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් පුළුල් කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් එහි දී ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස