හමුදා සෙබලෙකුට කොරෝනා! වෙළෙඳසැල් 4ක සේවකයන් නිරෝධායනයට!

May 30, 2020 at 9:10 pm | by emanisa.lk

හොරණ නගරයේ වෙළඳසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (30) පියවර ගෙන තිබේ.

ඒ යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි සඳහා අනියුක්ත කර සිටි මෙම යුධ හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මේ වන විට IDH රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.

මෙම හමුදා නිලධාරියා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුගිය 26 වෙනිදා අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සිදුකර ගැනීම සඳහා හොරණ නගරයේ වෙළඳසැල් 04 කට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම හමුදා නිලධාරියා එම වෙළඳසැල් වෙත යාමේදී පුර්ණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග ගෙන ඇති බව හොරණ සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කරයි.

කෙසේ වුවත් අදාළ වෙළඳසැල්වල සේවය කරනු ලැබූ සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ලබන සතියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශානක මල්ලිකාරච්චි ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම යුධ හමුදා නිලධාරියා පසුගිය දිනවල මෙරටට පැමිණි විදෙස් ගත ශ්‍රමිකයින් හැසිරවීමේදී වෛරසයට නිරාවරණය වන්නට ඇති බවට සැක කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස