හන්තාන කන්දේ පරිසර සංවේදී අක්කර 19ක් වනසයි! විපක්ෂයේ දේශපාලකයෙකුට එනසාල් වවන්නලු!

August 31, 2020 at 9:31 am | by emanisa.lk

විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති.

ඉකුත් බ්‍රහස්පතින්දා (27) සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි හන්තාන සුරකින්නන්ගේ සංගමය පවසයි.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව අංක 1641/28 හා 2010 පෙබරවාරි 27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ පරිදි පූර්ව අනුමැතියකින් තොරව හන්තාන කඳුවැටියේ මීටර් 3000කට වඩා ඉහළ ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සපුරා තහනම් බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම භූමි ප්‍රදේශය ආශ්‍රිතව විශාල පුවරුවක්ද සවිකර තිබේ.

මෙම භූමි ප්‍රදේශය ඉකුත් රජය සමයේදීද එළිපෙහෙළි කිරීමට විවිධ කටයුතු කරනු ලැබූවත්, පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මැද එම කටයුතු නතර වී ඇති බව කියයි.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති. මෙම පරිසර හානිය පිළිබඳ මහනුවර පොලිසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් පොලිස් හදිසි ඇමතුම් අංශය අදාළ ස්ථානය නිරීක්ෂණයට ගිය බවත් වාර්තා වෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ස්ථානය පිළිබඳව සොයා බැලීමට අද (31) කණ්ඩායමක් යොදවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස