හදිසි නීතිය බල රහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්…!

July 28, 2022 at 5:15 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන හදිසි අවස්ථා රෙගුලාසිවලට අදාල ගැසට් නිවේදන බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් විසින් පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන අය නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ජනාධිපතිවරයා විසින් ඉකුත් 17 වනදා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව දිවයින පුරා ප්‍රකාශයට පත් කළ බවයි. එම රෙගුලාසිය තුළින් ආරක්ෂක හමුදාවලට සහ පොලිසියට අසීමිත බලයක් පැවරෙන බව පෙන්වා දෙන පෙත්සම්කාරිය මේ හරහා අධිකරණය මෙන්ම පාර්ලිමේන්තුව සතු බලය ද යටපත් කිරීම සිදු කෙරෙන බව පෙන්වා දෙයි.

අදාල රෙගුලාසි තුළින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා වධ හිංසාවන් පැමිණවීමට මග පෑදෙන බව පෙන්වා දෙන පෙත්සම්කාරිය ඉකුත් 22 වනදා ගාලු මුවදොර ප්‍රදේශයේදී සන්නද්ධ හමුදා ක්‍රියා කළ ආකාරය ඊට කදිම නිදසුනක් බවත් පවසයි.

මෙම හදිසි අවස්ථා රෙගුලාසි පැනවීම තුළින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *