හංවැල්ලේ VIP රථ පෙළපාළිය ගියේ මගුල් ගෙදරක…! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

February 5, 2025 at 5:35 pm | by emanisa.lk

විදුලි ආලෝකය දල්වමින් හා සයිරන් නළා නාද කරමින් හංවැල්ල මාර්ගයේ පෙබරවාරි 2 වන දා සවස් කාලයේ ගමන් කර තිබූ රථ වාහන පෙළපාලිය විවාහ උත්සවයකට සහභාගීවීමට ගොස් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ පසුගිය 30 වන දා විවාහ උත්සවයක් පවත්වා තිබෙන බවත් පසුගිය ඉරිදා පැවති එහි දෙවන දින උත්සවයට ප්‍රදර්ශනාත්මක ලෙස රථ වාහන පෙළපාලිය ගමන් කර තිබෙන බවත් ය.

මීගොඩ හා හංවැල්ල පොලිස් ස්ථාන මේ පිළිබදව සොයා බැලූ බවත් මෙම රථ වාහන පෙළ පිළිබදව තව දුරටත් විමර්ශනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රථවාහන නීතියට අනුකූල නොවන පරිදි මෙම රථ වාහන ගමන් කර ඇති අතර අමතර පහන් දල්වාගෙන රථවාහන පෙළපාලි ගමන් කිරීම මෝටර් වාහන පනත අනුව තහනම් බව ය.

‘වීඅයිපී ලයිට්’ යැයි හඳුන්වමින් වාහනවල ඉදිරිපස අමතර විදුලි පහන් දල්වාගෙන ධාවන කරන සියලු වාහන පරීක්ෂා කර එම පහන් ගලවා දැමීමට පොලිසිය දැනටමත් පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙවැනි රථ පෙළපාලිවලට පොලිස් ස්ථානවලින් අවසර ලබා නොදෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *