සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩන සංචාරක ආයතන Blacklist…! – ප්‍රසන්න

January 13, 2021 at 8:03 am | by emanisa.lk

ලබන 21 වෙනිදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයින් ගෙන ඒමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත (Blacklist) කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන බවද ඔහු පෙන්වා දෙයි.

ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන්, සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙ රටට ගෙන්වීමේ දී අදාළ සංචාරක ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළයුතු බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

එම දැනුම්දීම කළ විට සංචාරකයන් මෙ රටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරනු ඇත.

මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස