සුවපති හදිසි ඖෂධ ජාවාරමෙන් කෝටි ගණන් වංචා කරලා..! ජාවාරම නවතා දැමීමෙන් දැනට ම රටට රු. කෝටි 340ක ඉතිරියක්….! – SPC සභාපති…

September 3, 2021 at 8:47 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමඟ ඖෂධ හදිසි මිල දී ගැනීම නතර කිරීමෙන් පසු 2020 වසරේ දී පමණක් රුපියල් කෝටි 340ක මුදලක් රටට ඉතිරි කිරීමට හැකි වූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හෙළි කරයි.

පිළිකා ඖෂධවලින් රුපියල් කෝටි 226ක් ද, සෙසු ඖෂධවලින් රුපියල් කෝටි 114ක්ද ඉතිරි කිරීමට හැකි වූ බවත් සාමාන්‍ය මිල දී ගැනීම් කළ හැකිව තිබිය දී අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමක් ලෙස යහපාලන ආණ්ඩුව කාලයේ හදිසි මිල දී ගැනීම් සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සයිබර් හමුවට සහභාගි වෙමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව පෙරේදා (2) පැවසුවේය.

යහපාලන ආණ්ඩුවෙන් පසුව වත්මන් ආණ්ඩුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බාර ගන්නා විට ඖෂධ 300ක පමණ 2019 වර්ෂයේ දී හිඟයක් පැවති බවත් එම හිඟය අද වන විට ඖෂධ 35ක් දක්වා අවම කර ඇති බවත් හෙතෙම පැවසුවේය.

හදිසි මිලදී ගැනීම් කරන විට විශාල මුදලක් වැය වන්නේ යැයි ද, වත්මන් ආණ්ඩුව මඟින් මේ දක්වා කිසිදු හදිසි මිල දී ගැනීමක් කර නැතැයිද හෙතෙම කීය. පිළිකා සඳහා දෙන රෙටුප්සිමැබ් ඖෂධය රුපියල් 17,735ට ගත හැකිව තිබියදී එය රුපියල් 55,000කට ද, ෆින්ඩර්මයිසින් එන්නත රුපියල් 42කට ගත හැකිව තිබියදී රුපියල් 206කට ද, විටමින් ඩී ඖෂධය රුපියල් 300කට ගත හැකිව තිබියදී එය රුපියල් 20,000 කටද ලෙස යහපාලන ආණ්ඩුව කාලයේ හදිසි මිල දී ගැනීම් කර තිබූ බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස