සුමන්දිරන්ට යාපන සංවර්ධන ඇමති වන්නැයි පාඨලිගෙන් ඇරයුම්!

February 21, 2019 at 10:10 pm | by admin

2015 ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සිදු කළා සේ ම යාපන සංවර්ධන ඇමති තනතුර භාරගෙන සංවර්ධන කාර්යට ද දායක වන්නැයි දෙමළ සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන්ගෙන් අමාත්‍ය පාඨලි චම්පික රණවක අද (21) ඉල්ලා සිටියේය.

යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. යාපනයෙන් ප්‍රබල ඇමතිවරයෙකු අවසාන වතාවට පත් වූයේ 1968 තිරුචෙල්වම් බවත් එයින් පසු වසර පනහක් තිස්සේ ප්‍රබල ඇමතිවරයකු යාපනෙන් බිහි නොවූ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මැති ඇමතිවරු තමන්ගේ පළාත්වල සංවර්ධනයට මිස විද්‍යාත්මක ලෙස රට සංවර්ධනයට උනන්දු නොවන නිසා යාපනේ සංවර්ධනය අඩාල වී ඇතැයි ද හෙතෙම පවසයි. ඒ සඳහා විද්‍යාත්මක සංවර්ධන ක්‍රමවේද හඳුන්වා නොදෙන්නේ නම් සුමන්දිරන්ලා ආණ්ඩුවට එකතු වී ඇමති තනතුරු භාර ගෙන එම සංවර්ධනය යාපනයට ගෙන ආ යුතු යැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

2015 ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සිදු කළ ආකාරයටම සංවර්ධන කටයුතු සඳහා ද දායක වන්නැයි හෙතෙම සුමන්දිරන්ලාට ඇරයුම් කළේය. මේ වන විට උතුරු සංවර්ධන අමාත්‍ය ධුරය දෙමළ සන්ධානයේ ඉල්ලීම මත අගමැති රනිල් වික්‍රමසිංහ දරන අතර එම ධුරය ඩී.එම්. ස්වාමිනාදන්ට ලබා දීමට එරෙහි වූයේ ද දෙමළ සන්ධානයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස