සිලෝන් තේ නාමය විනාශ කරන්න උඩගෙඩි දෙන ආණ්ඩුව කටුපොල් වවමින් රටේ ජල සම්පත වනසනවා!- වෛද්‍ය රමේෂ් පතිරණ

April 9, 2019 at 7:00 am | by admin

තේවල ගුණාත්මකභාවය විනාශ කිරීමට කටයුතු කරන ඇතැම් තේ කම්හල් හිමියන්ට විරුද්ධව නීතිමය ක්‍රයාමාර්ග අනුගමනය කළ ද ඇමති නවීන් දිසානායක එම කම්හල් හිමියන්ගේ බලපත් අලුත් කරමින් ශ්‍රී ලංකා තේ නාමය විනාශ කිරීමට අනුබල දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධයෙන් විවාදයේ දී මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් කුඩා තේ වතු කේෂ්ත්‍රයට සම්බන්ධව සිටිනවා. ඒ වගේම රබර් පොල් ඇතුළු කෘෂිකාර්මික කටයුතුවලත් විශාල පිරිසක් නිරතව සිටිනවා. අද තේ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබදව කතා කළා. මේ වන විට තේ කර්මාන්ත හිමියන් විශාල ගැටලු රැසකට මුහුණදී සිටිනවා. අපේ පළාතට ප්‍රධාන වශයෙන් බලපෑවේ තේ නිෂ්පාදනයට අවශ්‍ය පොහොර කප්පාදු කිරීම සහ ග්ලයිෆොසෙට් තහනමයි.

නමුත් සීමාසහිතව ග්ලයිෆොසෙට් නැවත වතාවක් ගිය වසරේ නිකුත් කිරීමත් සමග මේ අර්බුදය යම් තරමකට අවම කර ගන්නට හැකි වුණා. පොහොර සහනාධාරය මූල්‍ය සහනාධාරයක් ලෙස ලබාදීම තුළින් නියම ප්‍රතිලාභ ලබා ගන්න බැහැ. වගාවන්ට පොහොර යොදනවා වෙනුවට ගොවීන් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ඒ මුදල් යොදා ගත්තා. එමගින් වගාවේ ප්‍රවර්ධනයට විශාල හානියක් වුණා. පසුගිය වසරේ තේ කිලෝ මිලියන 300 ක ඉලක්කයට ඇවිත් තිබෙනවා. තේ වගාව වෙනුවන් තිබෙන උනන්දුව වැඩි කළොත් මේ තත්ත්වය තවත් ප්‍රවර්ධනය කර ගන්න පුළුවන්.

වසර 150 කට වැඩි කාලයක් තිස්සේ රටට ආර්ථිකමය වශයෙන් විශාල දායකත්යක් ලබාදුන් මේ කර්මාන්තය කෙරෙහි තිබෙන උනන්දුව තවත් වැඩි කරනු ඇතැයි විශ්වාස කරනවා. තේ කර්මාන්තයේ පවතින විශ්වාසය පළුදු වෙන්නට කටයුතු වූ කරුණු මේ කේෂ්ත්‍රයේ සිදුවෙනවා. රටේ තේ කර්මාන්ත ශාලා 729 ක් තිබෙනවා. ලංකාවේ තේවල තිබෙන ගුණාත්මක කාරණය ඉතා වැදගත්. ඒ ගුණාත්මකභාවයට හානිදායක ලෙස ඇතැම් කර්මාන්ත ශාලා හිමියන් කටයුතු කරන බවට අනාවරණය වෙලා තිබෙනවා.

තේවලට සීනි කලවම් කිරීම පිළිකාකාරක තත්ත්වයක් මෙන්ම ශ්‍රී ලංකා තේ නාමයට විශාල හානියක්. මේ කර්මාන්තශාලා හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවරත් අරන් තිබෙනවා. නමුත් නවීන් දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් මේ කර්මාන්ත ශාලාවල බලපත්‍ර දීර්ඝ කරලා තිබෙනවා. දේශීය තේ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා නම් මේ කාරණය ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. අමාත්‍යාංශයේ තීන්දු තීරණ නිසා තේ කර්මාන්තකරුවන් දැඩි කළකිරීමකට පත්ව සිටිනවා. තේ ශක්ති අරමුදලේ ගාල්ල ශාඛාව වසා දමා තිබෙනවා. වලහන්දූව තේ ශක්ති කර්මාන්ත ශාලාව දැන් වසා දමා තිබෙනවා. ජාතික ධනය මේ ආකාරයෙන් විනාශ වෙන්න දෙන්න එපා.

සාම්ප්‍රදායික පොල් වගාව වෙනුවට කටු පොල් වගාව ප්‍රවර්ධනයට ඉඩදී තිබෙනවා. ගාල්ලේ පමණක් නොව මේ ගැටලුව ගැන සමස්ත ලෝකයේම අවධානය යොමු විය යුතුයි. කටුපොල් වගාව නිසා ජලය සිදී යනවා. ෆාම්ඔයිල් වගාව හරහා ගෝලීය උෂ්ණත්වය වැඩි වන බවට හෙළි වී තිබෙනවා. කටු පොල් නිසා ඇති වන විශාල පාරිසරික හානිය ගැන අවධානය යොමු කළ යුතුයි. කුමන අරමුණකින් මේ වගා කරනවාද කියා දන්නේ නැහැ. ආර්ථික වාසියක් ලබන්නේ සමාගම්. ෆාම්ඔයිල්වලට වඩා ලංකාවේ තිබෙන පොල්තෙල්වල ගුණාත්මකභාවය වැඩියි. ෆාම්ඔයිල්වලින් සෞඛ්‍යමය ගැටලු රැසකට ජනතාව මුහුණ දෙනවා. එළවළු තෙල් කියන්නේ ෆාම්ඔයිල්. මෙතන සදාචාරය ගැන ගැටලුවක් තිබෙනවා. එළවළු තෙල් වෙනුවට ෆාම්ඔයිල් කියා යොදන්න ඕන. සාම්ප්‍රයික පොල් වගාව ප්‍රවර්ධනය කිරීමට රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

රමේෂ් පතිරණ මාධ්‍ය ඒ්කකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස