සිරිසේන ජනාධිපති කළ අපට ශාප වේවා! රනිල් පුරවැසි අපේක්ෂාභංග කිරීමටත් අපට ශාප වේවා! අපි අලුත් නායකයෙක් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී විශ්වාසය දල්වාගමු! – මහාචාර්ය සරත් විජේසූරිය (video)

May 30, 2019 at 10:18 am | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ මොනයම් ආකාරයේ හෝ රජ්‍ය පාලනයකට නුසුදුසු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා‘‘

ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.

මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා.

මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දම නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.

ජනවිඥානය තේරුම් නොගත් අමනෝඥ උඩඟු ජනතාවට වග නොකියන අගමැති රනිල්ගේ අදූරදර්ශී දේශපාලන භූමිකාවත් ඇබිත්තන් මිනිහෙකුගෙන් නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු වන් නායකයකු අපේක්ෂා කිරීසේ අනුවණකමත් නිසා ජනවාර 09 යහපාලන අපේක්ෂා බිඳ වැටුණු බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණ දෙකකට නායකයන් ණයට ගැනීම මගින් රනිල් නායකයකු නොවන බව පසක් වන්නේ යැයි ද ඔහු එජාප නායකත්වය උසුලන්නේ ඒකාධිපති ස්වරූපයෙන් යැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

දේශපාලනය පිහිනුම් ක්‍රීඩාව තැපෑලෙන් උගත් රනිල් වික්‍රමසිංහ වතුරට බසින හැම විටම ගිලෙන බව ද ඔහු සමග සසඳන විට මහින්ද රාජපක්ෂ ගල් බොරළු පොළොවක වුව පිහිනීමට සමතෙකු බව ද හෙතෙම පෙන්වා දෙයි. එහෙයින් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පාලනය නැවත කිසිසේත් සුදුසු නැත.

රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගත යුතු බවත් නැතහොත් පාක්ෂිකයන් රට ගැන සිතා රනිල් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්ෂකයකු දිනවීම හැර වෙන විකල්පයක් නොමැති බවත් එම අපේක්ෂකයා සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට දායක වීම අප කළ වරදක් නම් අපට ශාප වේවා යැයි ද රනිල් වික්‍රමසිංහ නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන අපේක්ෂා භංග කිරීමටත් අපට ශාප වේවා යැයි ප්‍රාර්ථනා කළ මහචාර්යවරයා සෝභිත හිම මග යමින් හෘද සාක්ෂියක් ඇති පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන නීතිය මත පාලනය වන ජනාධිපතිවරයකු වෙනුවෙන් ඉදිරි ජනාධිවරණයේදී යළි විශ්වාසය දල්වා ගනිමු යැයි ද යෝජනා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස