සැමට පෙර රට සහ ජාතිකත්වයයි! මට හොඳම තැන ගෝඨාභයගේ කඳවුරයි! – රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර

March 5, 2020 at 12:18 pm | by emanisa.lk

තමන්ගේ මතවාදය වන්නේ සැමට පෙර රට හා ජාතිකත්වය බැවින් තමන් අනිවාර්යෙන්ම සිටගන්නේ රට හා ජාතිකත්වය මුල්තැන දෙන නායකත්වයක් සමඟ බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි.

සිය මතවාදයට අනුව යන ආසන්නතම පුද්ගලයා ලෙස මා දකින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන කඳවුර යැයිද හෙතෙම පැවසීය.

දේශපාලනය සහ සමාජය ගොඩනැගීම යන කාරණා මත මේරට බහුතරයක් ජනතාව වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් ඔහුට රට වෙනුවෙන් යමක් කළ හැකි යැයි තමන්ටද විශ්වාසයක් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

එහෙත් කුමන කණ්ඩායමක් හෝ පක්ෂයක් සමඟ දේශපාලනිකව සිටගන්නේද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවත් එහෙත් තමන්ගේ මතවාදය නියෝජනය කරනු ලබන කඳවුරක් සමඟ අනිවාර්යෙන්ම සිටගන්නා බවත් උවිඳු විජේවීර කීවේය.

ඉදිරි මහ මැතිවරණයේදී රට ගොඩනැංවිය හැකි බුද්ධිමත් හා උගත් තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට ජනතාව කටයුතු කළ යුතු බවත් එලෙස සෑම අංශයක්ම නියෝජනය කරන පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු බවත් විජේවීර පැවසීය.

තමන් යම් කිසි පිරිසකගේ කොන්ත්‍රාත්තුවක් ගෙන යන බවට ඇතැමෙක්ට චෝදනා කළ හැකි වුවද එලෙස යම් කොන්ත්‍රාත්තුවක් බාරගත්තේ නම් මේ වන විට එලෙස යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන පරහදීම් කරන බවත් එහෙත් තමන් එවැනි පහත් දේශපාලනයක නොයෙදෙන බවත් හෙතෙම කීවේය.

දේශපාලනය කරන්න, ජන්දය ඉල්ලන්න මට අයිතියක් තිබෙනවා. ඒ වගේම මම හිටිගමන් දේශපාලනය ගැන කතා කරපු කෙනෙකුත් නෙවෙයි. මම මීට වසර දෙකකට කළින් ඉදලා මගේ මතවාදය රටට කිව්වා. තරුණයෙක් විදියට මට මේ රට ගැන වගකීමක් පැවරිලා තිබෙනවා. එය අනිවාර්යෙන්ම ඉටු කරන්න කටයුතු කරනවා යැයිද ඔහු කියා සිටියේය.

“විධායක ජනාධිපති ධූරය වෙනස් විය යුතුයි. එය වෙනස් වෙලා යම් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ලැබිය යුතුයි. මේ විධායක ධූරය මඟින්, මේ රට වසර ගණනාවක් අගාධයට ගෙන ගියා. හැබැයි ඒ අගාධයට ගෙන ගිය රට යළි ගොඩගන්නත් මේ ධූරය භාවිතා කළ හැකියි. එය අපි ඔළුවේ තිබිය යුතුයි. එහෙම කියලා එම බලතල එකම පුද්ගයෙක් වටා තිබිය යුතුයි කියලා මම සිතන්නේ නැහැ. අනික් කාරණය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව 19 වැනි ව්‍යවස්ථාව පමණක් වෙනස් වෙලා වැඩක් නැහැ. ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැගිය යුතුයි. ඒ පිළිබඳ කතිකාවක් රට පුරා, ජනතාව අතර ඇති විය යුතුයි. එහෙත් තවම එහෙම කතිකාවක් ගොඩනැගිලා නැහැ.

මේ රට ගොඩගන්න නම් නිෂ්පාදිත ආර්ථිකයක් ඇතිවිය යුතුයි. එහෙම නැතුව හැමදේම පිටරටින් ගෙනත් කන්න ගියොත් කිසි දවසක රට දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේ මොහොතේ තරුණ පිරිස් ඉදිරියට ආවොත් බොහෝ දේ වෙනස් කළ හැකියි. එය තත්ත්වය ජනතාව නිසි ලෙස අවබෝධ කරගෙන වැඩකළොත් මේ රට ඉක්මනින් වෙනස් කළ හැකියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස