සාෆි බේරල පඩි ගෙවන තැනට වැඩ කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත…!

December 21, 2021 at 11:16 pm | by emanisa.lk

වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙසේ පැවසීය.

ජාත්‍යන්තර අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් වන ‘ජන සංහාරය’ පිළිබඳව චෝදනා ලැබ සිටින, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු අන්තවාදී ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදුන් බවට චෝදනා එල්ල වන, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කළ බවට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තවමත් පරීක්ෂණ සිදු කරන, වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට සහ මව්වරුන්ගේ ප්‍රජනක පද්ධතීන්ට හානි කළ බවට ඇති චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරීක්ෂණ පැවැත්වෙන, අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරුවකු වන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම ඉහත කී අධිකරණ ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ සියල්ලටම අගතිගාමී ලෙස බලපාන බව ද ඔහු පෙන්වා දුන්නේය.

2019 මැයි මස 24 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය අනුව කුරුණෑගල රෝහලේ එවකට අධ්‍යක්ෂවරයා දින 4ක් තුළ සාෆි සහබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකොට එය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් එම විමර්ශන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ එවකට සිටි ලේකම්වරියට ඉදිරිපත් කර ඇති බවත් ජයන්ත සමරවීර අනාවරණය කළේය.

එකී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය කළ යුතුව තිබුණේ රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකළ මූලික විමර්ශන වාර්තාවෙන් සාෆි සහබ්දීන්ට එල්ල වී ඇති චෝදනා විමසා බලා ආයතන සංග්‍රහය ප්‍රකාරව චෝදනා පත්‍රයක් නිකුත් කොට, විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශයක් යැවීම බව ද හෙතෙම සඳහන් කළේය.

නමුත් වසන්තා පෙරේරා නමැති එම අමාත්‍යංශ ලේකම්වරිය එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උවමනාව පරිදි කටයුතු කරමින් ඒ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටි සාෆි සහබ්දීන් අනිවාර්ය නිවාඩු යවන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ කිරීම බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙසේ රාජිත සේනාරත්න එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා, සාෆි සහබ්දීන් ආරක්ෂා කරදීමට පියවර ගෙන තිබූ බව ද ජයන්ත සමරවීර, මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය වගකීම් පැහැර හැර ඇති බවත් අනිවාර්ය නිවාඩු යැවීමේ නිර්දේශය පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි පරිදි සොයා නොබලා ක්‍රියාත්මක කිරීමෙන් එම කොමිසම ද වගකීම් පැහැර හැර ඇති බවත් සමරවීර කීය.

ඕනෑම රාජ්‍ය සේවකයෙකුට අදාළව මෙවැනි විෂමාචාර වැරදි සඳහා දඬුවම් දීමේ, යුක්තිය පසිඳලීමේ ක්‍රමවේද ඇත්තේ ආයතන සංග්‍රහය තුළ නිසා එදා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ මූලික විමර්ශන වාර්තාව අනුව චෝදනා පත්‍රයක් සකස් කර එය රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කර විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළ යුතුව ඇති බවත් පෙන්වාදුන් ජානිපෙ ජාතික සංවිධායකවරයා, එසේ විධිමත් පරීක්ෂණයක් පවත්වා තීන්දුව ලැබෙන තෙක්, දැනට ගෙන ඇති ‘සාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමේ’ තීන්දුව අත්හිටුවන ලෙස ද ජයන්ත සමරවීර ඔහුගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස