සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපේ පැත්තේ තබා ගෙන කටයුතු කරන්න! සිංහල ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ! (video)

May 8, 2019 at 5:35 pm | by admin

පසුගිය සතියේ මුස්ලිම් නායකයින් පිරිසක් මාව හමු වෙන්න ආවා. හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මැතිතුමාගේ පුතා නකීබ් මවුලානා එතැන සිටියා. ඔහු දුක හිතෙන කතාවක් කිව්වා. අපේ තාත්තා ඥාණසාර හාමුදුරුවන් වගේම ඔබතුමාත් සමීපව ඇසුරු කළා. මුස්ලිම් අන්තවාදින් පිළිබඳ අපි ආරක්ෂක අංශ දැනුම්වත් කරමින් සිංහල සමාජය සමග හැමදාමත් සුහදව කටයුතු කළා. දැන් අපි දිහා බලන්නෙත් ත්‍රස්තවාදින් දිහා බලනවා වගේ. මම ඊයේ සුපිරි වෙළඳසැලකට බඩු ගන්න ගියා. මුදල් ගෙවන්න පෝලිමේ හිටියා. මගේ වාරය ආවා විතරයි කැෂියර් එකේ හිටිය ගෑණු ලමයා නැගිටලා ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක කතා කරමින් ඉඳලා විනාඩි දහයක් විතර මාව ඕනෑ කමින්ම රස්තියාදු කළා. ඇයි මට එහෙම කළේ? එහෙම අසන විට නකීබ්ගේ ඇස් දෙකේ කඳුළු පිරිලා.

ඒ පිරිස මගෙන් ඉල්ලීමක් කළා. ඒ සිංහල ජාතියෙන් ඉල්ලීමක් කරන ලෙසට. බෞද්ධ ක්‍රිස්තියානි සියලුම ආගම් අදහන සිංහලයින්ට තිබෙන එකම දේශපාලන පක්ෂය ලෙස පිිවිතුරු හෙළ උරුමය සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදින් ලෙස නොසලකන ලෙසයි. විමසිල්ල හරිම වැදගත්. හැම මොහොතේම පරික්ෂාවෙන් ඉන්න. ඒත් අනිසි ලෙස මුස්ලිම් ජනතාවට හිරිහැර කරලා හිත් රිදවන්න එපා. මොකද එය අතිශයින්ම නරක ප්‍රථිපල ගෙන ඒමට ඉඩ තියෙනවා.

1983 ජූලි කලබලය දෙමළ ත්‍රස්තවාදය පෝෂණය වීමට ලොකු රුකුලක් වුණා. අපි ඒවායෙන් පාඩම් ඉගෙන ගෙන මුස්ලිම් අන්තවාදය පිළිබඳ පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදයට දෙමළ සමාජයෙන් සැලකිය යුතු සහයෝගයක් තිබුණා. නමුත් මුස්ලිම් අන්තවාදයට දේශපාලන රැකවරණය තිබුණත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බහුතරයක් විරුද්ධයි. ආරක්ෂක අංශ කියන විධියට මෙතරම් වේගයෙන් අපට ත්‍රස්තවාදින් අවි ආයුද බුරුතු පිටින් අල්ලා ගන්න ලැබුණේ මුස්ලිම් සමාජයෙන්ම ලැබුණු ඔත්තු නිසා. කබීර් හසීම් ඇමතිතුමාගේ ලේකම් වෙඩි කෑවේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ඔත්තු දුන්නු නිසා.

මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි. අපි සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. සිංහල ජනතාව අතරමං කරන්න දෙන්නේ නෑ. මේ සටන අද සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතාම ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න කියන ඉල්ලීම අප සිංහල ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපේ පැත්තේ තබා ගන්න කටයුතු කරන්න කියලා අපි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මට මුස්ලිම් සමාජයෙන් කරන්න ඉල්ලීමක් තිබෙනවා. ඇවිලෙන ගින්නට පිදුරු දාන අසාත් සාලි සහ රිෂාඩ් බදුරුදීන් වැනි අන්තවාදි දේශපාලකයින් මේ දිනවල පුළුවන් තරම් මාධ්‍යවලින් ඈත් කරලා තබන්න. ඒ වෙනුවට සිංහල සමාජය ගරු කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි වැනි නායකයින් ඉදිරියට ගේන්න. ඒ වගේම මේ අන්තවාදීන් ලූලා නැති වලේ කණයා පන්ඩිතයා ලෙස හැසිරෙද්දී මුස්ලිම් සමාජයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අන්තවාදියෙක් කියලා කවුරුවත් චෝදනා කරන් නෑ.

ඔහු මේ අවස්ථාවේ ඉදිිරියට පැමිණිලා මුස්ලිම් සමාජයට නායකත්වය දිය යුතුයි. කතෝලික සමාජයට කාදිනල්තුමන් ලබාදෙන නායකත්වය වගේ අපි බලාපොරොත්තු වෙනවා මුස්ලිම් සමාජයට රාවුෆ් හකීම් මහතා නායකත්වය ලබාදෙයි කියලා. ඔහු ඉදිරියට එන්නැති වුණාම තමයි මේ කනයෝ ඇවිල්ලා මේ ප්‍රශ්න අවුල් කරන්නේ. ඒ වගේම මුස්ලිම් කටයුතු ඇමතිට මෝඩ කතා කියලා මිනිස්සු අවුසන්න එපා කියන්න. මුස්ලිම් කටයුතු ඇමති කියනවා පල්ලියේ කඩු තිබෙන්නේ පල්ලිය වටේ තිබෙන කෑලේ කපන්නලු.

කොම්පඤ්ඤ වීදියේ පල්ලිය අවට ආසාවට තණකොල ගහක් නෑ. එතකොට ඒ පල්ලියෙන් හමු වුණු කඩුවලින් කපන්නේ කෙස් ගස් ද? එතකොට ඩෙටනේටර තියාගෙන ඉඳලා තිබෙන්නේ හපන්න බැරි පරණ අග්ගලා පුපුරන්නද? ඒ නිසා මේ සමාජය කම්පනයට පත්වෙලා ඉන්න අවස්ථාවේ මෙවැනි මෝඩ කතා කියලා ජනතාවට අනවශ්‍ය උසිගැන්වීම් කරන්න එපා කියලා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමන්ටත් අනතුරු අගවනවා.

2019 මැයි 6 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දැක් වූ අතර
නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මොරටුව නාගරික මන්ත්‍රි කුමාර රාජරත්න යන මහත්වරුන් ද මෙම මාධ්‍ය හමුව සඳහා එක් විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස