ස්වාධීන රටට බාහිර ඇඟිලි ගැසීම් බෑ…! 46/1 යෝජනාව ප්‍රතික්ෂේප කරනවා…! පළාත් සභා ඡන්දය ඉක්මනින් තියනවා…! – විදේශ ඇමැති ජිනීවා මානව හිමිකම් හමුවට දැනුම් දෙයි..

September 14, 2021 at 7:20 pm | by emanisa.lk

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් අද (14) ඉතාලියේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, 46/1 යෝජනාව මගින් පිහිටු වන ලද බාහිර ක්‍රියාකාරකම් සඳහා වන යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන බවය. එමෙන්ම මානව හිමිකම් ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් දේශීය ක්‍රීයාවලීන් මගින් කටයුතු කරන බවද විදේශ අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

සභාපතිතුමියනි,

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් භාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමඟ අපගේ ශක්තිමත් හා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින් මම ආරම්භ කරමි.

වසර 12කට පෙර, ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය එහි භූමියෙන් තුරන් කරන ලදී. අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය යළි ස්ථාපිත කොට ඇත්තෙමු. අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ශක්තිමත් ලෙස රඳවා ගෙන සිටි අතර, මෑතක දී පැවැති 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළුව, විධිමත් කාල පරිච්ඡේදවල දී ඉහළ මට්ටමක ඡන්ද දායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ ද හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැප වී සිටී.

අපි පශ්චාත්-ගැටුම් තත්ත්වයක් තුළ සුවය ලැබීමේ දෘෂ්ඨි කෝණයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා කටයුතු කරමින් සිටිමු. ඉතා මෑතක දී, බරපතළ ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී. ගැටුම්වලින් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන්වල සාර්ථකත්වය මඟින්, ජාතික සංහිඳියාව සඳහා අතිමහත් දායකත්වයක් ලබා දී ඇත.

විනාශකාරී කොවිඩ්-19 වසංගතයේ දෛනික අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය ක්‍රියාවලිවල ප්‍රගතිය ඉස්මතු කර දැක්වීමට මට අවසර දෙන්න:

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) එහි මූලික කාර්ය ලෙස, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් යුතුව අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව සකස් කොට අවසන් කරමින් සිටී.
වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මෙම වසරේ දී හිමිකම් ඉල්ලීම් 3,775 ක් සකස් කොට ඇත.
ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) සිය කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

ජාතික මානව හිමිකම් කොමිසම සිය වරම ක්‍රියාත්මක කරයි.
තිරසාර සංවර්ධන ඉලක්ක 16 පිළිබඳ මෙහෙයුම් කමිටුවක් සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීමට සහ ජාත්‍යන්තර සම්මතයන්ට හා විශිෂ්ට පරිචයන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් පත් කරන ලදී. මේ මස අවසානයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට සහ එවැනි නඩු කඩිනමින් විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පිණිස උපදේශක මණ්ඩලයක් පත් කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ද සිදු වෙමින් පවතී.

වගවීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා සහ කලින් පැවති කොමිෂන් සභාවල නිර්දේශ නැවත සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසන විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. මෙම පරීක්ෂණ කොමිෂන් සභාව සිය අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. ඒ පිළිබඳ අවසන් වාර්තාව ඉදිරි මාස 06 ඇතුළත භාර දෙනු ඇත.

ඔවුන්ගේ දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ සංහිඳියාව හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ සහයෝගය උපයෝගී කර ගැනීම පිණිස, අපි සිවිල් සමාජය සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්නෙමු.

සභාපතිතුමියනි,
සෑම අතින්ම නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටී. සැම විට ම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකට ම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු.

සභාපතිතුමියනි,

දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමු. 30/1 යෝජනාව සමඟ අප විසින් අත්විඳ ඇති පරිදි, මෙය මඟින් අපගේ සමාජය ධ්‍රැවීකරණය වනු ඇත. මෙම සභාව විසින් එහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුව ඇත.

අදාළ රටේ සහයෝගය නොමැතිව ආරම්භ කරන ලද බාහිර මුලපිරීම්වලට ඒවායෙහි ප්‍රකාශිත ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර, ඒවා දේශපාලනීකරණයට යටත් වනු ඇත. විශේෂයෙන් ඒවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල මානුෂීය හා වෙනත් සාධනීය අරමුණු සඳහා හදිසි අවශ්‍යතාව ලෙස පැවතිය දී, මෙම මුලපිරීම සඳහා සම්පත් වැය කිරීම අනවශ්‍ය කටයුත්තකි.

සභාපතිතුමියනි,

වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සලකමු. අපි අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව , මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම ස්පෘශ්‍ය ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.

සභාපතිතුමියනි, මම ඔබට ස්තූතිවන්ත වෙමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස