සහල් මිල පාලනය ඉවත් කළේ කෘත්‍රීම සහල් හිඟයෙන් පාරිභෝගිකයා රැකගන්නයි…! – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න…

September 29, 2021 at 7:41 am | by emanisa.lk

සහල් මොල් හිමියන් වෙළෙඳපොළට සහල් තොග ලබා නොදීම නිසා ඇති වූ කෘත්‍රිම සහල් හිඟයෙන් ජනතාවට සිදුවන පීඩාවෙන් ඔවුන් මුදා ගැනීමේ අරමුණින් සහල් සඳහා පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්තේ සත්භාවයෙන්ම පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිවය. නමුත් යම් පාර්ශ්වයක් සහල් මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වන බවද ඇමැතිවරයා කීවේය. ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත් සාධාරණය කළ නොහැකි බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

රටේ සහල් අවශ්‍යතාව වසකට මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බවත් මසකට ටොන් ලක්ෂ දෙකක් බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, මසකට සහල් ටොන් ලක්ෂයක් ආනයනය කර සතොස සමූපකාර ඔස්සේ බෙදා හරිමින් ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේ ය.

සහල් ආනයනය කළ ද ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා පනවා ඇති සහතික මිලෙහි කිසිඳු වෙනසක් නොවන බවත් කවුරුන් හෝ එම වී අඩු මිලකට මිල දී ගන්නට උත්සහ ගන්නේ නම් ඒ සියලු ම වී රජය මිල දී ගැනීමට සූදානම් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස