සහල් මාෆියාවට ආණ්ඩුවෙන් තවත් පොල්ලක්…! ආනයනිත සහල් ටොන් ලක්ෂයක රජයේ සංචිතයක්….! මිල වැඩි කරන්න හැදුවොත් වහාම වෙළෙඳපොළට…!

March 13, 2021 at 9:14 am | by emanisa.lk

මහා පරිමාණ වී මෝල් හිමියන් අලුත් අවුරුදු සමයේ දී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කර රජයේ සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් මාසය මුලදී ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය. සහල් මිල දිගින් දිගටම ඉහළ දැමීමට මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඉකුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.

මහ කන්නයේ වී අස්වනු අප්‍රේල් මස 05 වැනිදා වන විට නෙළා අවසන් වන බැවින්, ගොවි ජනතාවට අසාධාරණයක් නොවන පරිදි වෙළෙඳපොළේ සහල් මාෆියාව පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙහි දී කැබිනට් මණ්ඩලයට පවසා තිබේ. මේ නිසා රජය අප්‍රේල් මස 05 වැනිදායින් පසුව සහල් තොග ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

සහල් තොග ආනයනය කර සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය කටයුතු කිරීමට නියමිත අතර, අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේ දී සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කළහොත් ආනයනික සහල් තොග වෙළෙඳපොළට නිදහස් කිරීමට නියමිතය.

මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් මිල තවදුරටත් ඉහළ දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා සතොස සහ සමුපකාර සමිති හරහා සහල් කිලෝවක් රුපියල් 97 කට අලෙවි කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *