සහරාන්ගේ අක්කර 25ක ගම්මිරිස් වගාවක්! අස්වනු විකුණා සංවිධානයකට මුදල් යවලා!

June 11, 2020 at 10:31 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මියගිය සහරාන් හසීම්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එහි ඉඩම අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ . සි. එල් . මධුවන්ති පැවසුවාය.

සහරාන් හසීම්ට අයත් මෙම ගම්මිරිස් ඉඩමේ මුරකරු ඇතුළු තවත් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස කණ්ඩායම් යොදවා මෙහි ගම්මිරිස් අස්වැන්න නෙළා අලෙවි කර එක්තරා කණ්ඩායමකට මුදල් ලබාදෙන බවට ප්‍රදේශවාසීන් විසින් නගන ලද චෝදනාව ගැන විමසීමේදී ඇය මේ බව පැවසුවාය. ග්‍රාම නිලධාරීවරියට මෙම ඉඩම බලා ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබියදී තවදුරටත් සූක්ෂම ලෙස කම්කරුවන් යොදවා එහි මුරකරු ඇතුළු ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනකු දේශපාලන පක්ෂයක උදව් කරුවකු එම වත්තේ ගම්රිස් කැඩීම තවදුරටත් සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳ වසම භාර ග්‍රාම නිලධාරිනියගෙන් අප විමසීමේදී කියා සිටියේ එම වත්තේ ගම්මිරිස් අසල්වැසියන් කඩන බවට තොරතුරු අනුව එය නැවතීමට තමන්ට උපදෙස් ලැබුණද ඉඩම තම භාරයට පවරා නැති බවය . ඉම ඉඩම ඉබ්‍රාහිම් නමැති අයකුගේ බවත් එහි මුරකරු ගම්මිරිස් අස්වැන්න නෙළා අයිති කරුවන්ට මුදල් යවන බව කීවාය.

සහරාන් හසින් ගේ දේපළ අධිකරණ නියෝග මත තහනම් කර ඇති බව ප්‍රදේශවාසීහු කියති. එහෙත් මෙම ඉඩමේ ගම්මිරිස් අස්වැන්න දින කිහිපයක පටන් කණ්ඩායමක් විසින් නෙළමින් සිටින බව ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳ මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ .සි . එල්. මධුවන්ති මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම දේපළ සහරාන් හසින් ට අයිති බව තහවුරු වී ඇතත් ලිඛිතව මෙම දේපළ රාජසන්තක කළ බවට තමා වෙත ලැබි නොමැති බවය .

කෙසේවෙතත් මෙම ඉඩම පිළිබඳ ඉදිරි කටයුතු කුමක් සිදු කරන්නේද යන්න නීතිපතිවරයාගෙන් විමසා ලිපි යවා තිබෙන බවත් එතෙක් මෙම ඉඩමට කිසිම අයකුට ඇතුළු වීමට හෝ අස්වනු නෙළීමට ඉඩ නොදෙන ලෙස උපදෙස් ලබා දී ග්‍රාම නිලධාරිවරිය භාරයේ තබා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි ඇය වැඩිදුරටත් කීවාය.

ප්‍රදේශවාසීන් කණ්ඩායමක් මෙම ඉඩමේ ගම්මිරිස් අස්වැන්න නෙළන බවට ද තමාට පැමිණිලි ලැබී බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය .

මාතලේ මඩවල හතමුණ ගාල ප්‍රදේශයේ මෙම ඉඩම පිහිටා තිබේ. මේ ඉඩම මාතලේ ප්‍රාදේශීය සභාවේ එකතු වන කුණු කසළ ඉවත් කිරීම සඳහා ද පසුගියදා මාතලේ ප්‍රාදේශීය සභාව මගින් යෝජනා ස්ථිර කරගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස