සර්ව පාක්ෂික ටෙලි නාට්‍යයේ චරිතයක් වෙන්න සූදානම් නෑ…! – සජිත්…

August 9, 2022 at 1:33 pm | by emanisa.lk

බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලි නාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විධායක ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැගීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බවත් ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම වුවත්, අද වන විට රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය. රට ගොඩනැගීම කෙසේ වෙතත් තරුණ පරපුර අබිරහස් අන්දමින් පැහැරගැනීමට ලක් වෙමින් සිටින බවද සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්,එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටෙන් නැති තත්වයක් උද්ගතව තිබෙන බවත් හෙතෙම පැවැසීය. දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වත්හු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *