සයිටම් සිසුන්ට වෛද්‍ය ලියාපදිංචිය දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග! ලක්ෂ ගණනක් වන්දි ගෙවන්නත් නියේග!

July 30, 2019 at 4:27 pm | by emanisa.lk

සයිටම් උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම් උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තීකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන අදාළ සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අභියාචනායාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.

ඒ අනුව ඔවුන් සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විණි.

මෙම නඩු තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව නීති විශාරදයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *