සමූපකාරේ දේශපාලන තක්කඩි තොග හංඟයි! රටේ කෘත්‍රිම පරිප්පු සැමන් හිඟයක්! 

March 26, 2020 at 10:22 pm | by emanisa.lk

රටේ සාමාන්‍ය ඉල්ලුම මෙන් තුන් ගුණයක් පරිප්පු සහ සැමන් වෙළෙඳපොළට නිකුත් කර ඇති පසුබිමක බොහෝ ප්‍රදේශවල පරිප්පු සහ සැමන් හිඟයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මේ පිටුපස සිටින්නේ රට පුරා සමූපකාර සමිතිවලට අරක් ගෙන ඇති දේශපාලන කල්ලි සහ ඔවුන්ගේ හිතවතුන් බව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ.

කොරෝනා උවදුර සමග ජනතාව මුහුණපාන දුෂ්කරතා සඳහා සහනයක් ලෙස රජය මැදිහත් වී සහන මිලට පරිප්පු සහ සැමන් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළේය. ඒ එම භාණ්ඩ ආනයනය කළ සමාගම්වලට නියමිත මිල ගෙවා ජනතාවට පරිප්පු කිලෝවක් රු. 65කට සහ සැමන් ටින් එකක් රු. 100කට අලෙවි කිරීමට එම භාණ්ඩ තොග ලබා ගැනීමෙනි.

මෙම භාණ්ඩ රට පුරා බෙදා හැරීමේ වගකීම රට පුරා විසිරි ඇති විවිධ සේවා සමූපකාර සමිති ජාලය භාරගත් අතර ඔවුන් සතු සතොස, කෝප් සිටි සහ සමූපකාර ජාලය ඔස්සේ ජනතාවට බෙදා හැරීම සැලසුම විය.

කෙසේ වුවද මෙම ඇතැම් සමූපකාර සමිතිවල පරිපාලන කටයුතු මෙහෙයවන ප්‍රාදේශීය දේශපාලන බලවතුන් මෙම ආයතනවල සේවය කරන සිය ඥාතීන් ද යොදා ගෙන අදාළ භාණ්ඩ තොගවලින් සුළු කොටසක් සිය වෙළෙඳ සැල් ජාලය ඔස්සේ ජනතාවට බෙදා හරින අතර තවත් විශාල කොටසක් තොග වෙළෙඳුන්ට අලෙවි කර තිබේ.

මෙම තොග වෙළෙඳුන් අදාළ භාණ්ඩ තොග මේ වන විට සඟවා ගෙන සිටින්නේ සැමන් සහ පරිප්පු නැවත මිල වැඩි කළ පසු විකුණා අධික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිවය. සාමාන්‍ය ඉල්ලුමට වඩා තුන් ගුණයක් පරිප්පු සැමන් වෙළෙඳපොළට නිකුත් කර ඇති පසුබිමක බොහෝ ප්‍රදේශවල පරිප්පු සැමන් හිඟයක් මතුව ඇත්තේ එහෙයිනි.

රටම දැඩි අර්බුදයක පසුවන අවස්ථාවක රජය ක්‍රියාත්මක කළ ජනතා සහන වැඩපිළිවෙළ ද අඩාල කරමින් කටයුතු කළ සමූපකාර සමිති මෙන්ම ඒ පිටුපස සිටින ප්‍රාදේශීය දේශපාලකයන් ද ඊට සම්බන්ධ වූ තොග වෙළෙඳුන් ද බුද්ධි අංශ විසින් හඳුනා ගෙන ඇති අතර ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව කටයුතු කරනු ඇත. විශේෂයෙන් තහවුරු කළ නොහැකි පරිප්පු සහ සැමන් තොග ගබඩා කරගෙන සිටින කූඨ කල්ලිවලට නුදුරු අනාගතයේ ම වැඩ වරදිනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස