සබ්‍රිගේ සූම් තාක්ෂණයෙන් නඩු ඇසීමේ පනත දේශද්‍රෝහී ක්‍රියාවක්…..! ජාතික ආරක්ෂාව අනතුරේ….! – ඕමල්පේ සෝභිත හිමි….

July 2, 2021 at 8:10 am | by emanisa.lk

රටේ නඩු විමසීම සූම් තාක්‍ෂණය ඔස්සේ සිදුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගෙන එන විශේෂ විධිවිධාන පනත දේශද්‍රෝහී ක‍්‍රියාවක් බව රට දැනගත යුතුව ඇතැයි රාමඤ්ඥ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (01) පැවැසුහ.

ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවක දී කරුණු දැක්වූ ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ අධිකරණ ඇමතිවරයාගේ මේ දේශද්‍රෝහී ක‍්‍රියාව සම්බන්‍ධයෙන් අදාළ බලධාරීන් වහා ක‍්‍රියාත්මක වියයුතු බවයි.

සූම් තාක්‍ෂණය යනු දුරස්ථව අධ්‍යාපන කටයුතු සහ සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්වීමට යොදා ගන්නා තාක්‍ෂණයක් බවත් සූම් යනු ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගමක් වන අතර එමගින් සිදුකරන සෑම දෙයක්ම ඒ ආයතනයේ ගබඩා වන බව ද උන්වහන්සේ කීහ.

රාජ්‍ය සහ රටවැසියාගේ පුදගලික රහස් එකතු වී ඇති සංචිතය අධිකරණය බව ද සෝභිත හිමියෝ කීහ. යුද අපරාධ, මානව හිමිකම් සහ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සියල්ල අධිකරණයේ විවෘත වන බව ද උන් වහන්සේ කීහ. විදේශීය නීතීඥවරයෙකුට විශේෂ අවසරයකින් තොරව අධිකරණයට ඇතුලු වීම තහනම් බව ද උන්වහන්සේ කීහ. සූම් තාක්‍ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදුවන විට ඒ තොරතුරු ලෝකයට ම යන වේදිකාවක් බවට පත්වන බවද සෝභිත හිමියෝ කීහ.

ඒ නිසා මේ ක‍්‍රියාව අපේ රටේ රාජ්‍ය රහස් සොරා ගැනීමට උත්සාහගන්නා ත‍්‍රස්තවාදී සහ රටට වින කරන විවිධ පාර්ශවයන්ට විශාල හැකියාවක් ලැබෙන බවද උන්වහන්සේ කීහ. එය ජාත්‍යන්තර ඔත්තු සේවාවල උවමනාවන් ඉටුකිරිමක් බව ඉතාම පැහැදිලියැයි ද කීහ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ගැන නොදන්නේදැයි ප‍්‍රශ්න කළ සෝභිත හිමියන් රටට ආදරය කරන කිසිවෙක් මේ විශේෂ විධිවිධාන පනත ගෙන ඒමට ඉඩ නොතැබිය යුතුයැයි ද අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස