සපුගස්කන්දට නොවැම්බර් 11 සිට මසක් බොරතෙල් නෑ…! වාහන ගෙදර ගාල් කර කළුවරේ ඉන්න වෙයි…?

October 21, 2021 at 9:52 am | by emanisa.lk

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මෙම නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව ඇත.

පිරිපහදුවේ දැනට තිබෙන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 දක්වා පමණක් බව පෙන්වා දෙන වෘත්තිය සමිති බොර තෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වැනිදා බව ද පවසයි.

කොතරම් උත්සාහ කළත් මෙම තත්ත්වය සැඟවිය හැක්කේ දින කිහිපයකට පමණක් බව වාණිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර සඳහන් කරයි.

ගෝලීය වශයෙන් මුහුණ දෙන මෙම අර්බුදයට ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ ආණ්ඩුව වගකිව යුතු නැතැයිද පැවැසූ ඔහු අද බොරතෙල් නැවක් ගෙන්වන බවට තොරතුරු ලැබී ඇති බවද පැවැසුවේය.

පැමිණෙන්නට තිබූ තෙල් නැව මෙතෙක් නොපැමිණි නිසා මේ වන විට කොළොන්නාවේ ගබඩාකර තිබූ ඩීසල් සහ පෙට්රල් අවසන්ව ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රන්වල පැවැසුවේය.

රටේ ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වල සහ ඩිපෝවල තිබෙන ඉන්ධන ප්‍රමාණය පමණක් බව කී ඔහු මේ තත්ත්වයට ලංකාවේ ඉන්දියන් ඔයිල් සමාගම මුහුණදී නැතැයිද පැවැසුවේය.

ඩොලර්වලට මාරු කිරීමට නොහැකිවූ නිසා සංස්ථාවේ රුපියල්වලින් මුදල් ඉතිරිව තිබෙන අතර සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට දැවැන්ත ණය මුදලක් ගෙවීමට ඇති නිසා බැංකුවලින් ඩොලර් ගැනීමට නොහැකිව ඇතැයිද පැවැසුවේය.

සංස්ථාවට ලබාදීමට භාණ්ඩාගාරය සතුවද ඩොලර් නැතැයි කී ඔහු මුදල් එකතු කර එක් ඉන්ධන නැවක් ගෙන්වද්දී රටේ බෙදාහැරීම අඩපණ වන බව කීවේය.

​ෙ‌ම් සම්බන්ධනේ අප ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන නැවක් ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ 21 වැනිදා වුවත් එය ඊට කලින් එනම් 20 වැනිදා (ඊයේ) පැමිණි බවය. තෙල්වල ප්‍රශ්නයක් නැතැයි කී සභාපතිවරයා පසුගිය දිනවල පාරිභෝගිකයින් තෙල් වැඩිපුර ලබාගත් නිසා ඉන්ධන පරිභෝජනය ඉහළ ගිය බවද පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *