සජිත් සංස්කෘතික ඇමති කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක වංචාවක්! සියලු තොරතුරු වාර්තා ඇතුළත් වාර්තාව අගමැති අතට!

July 28, 2020 at 10:33 pm | by emanisa.lk

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්ය විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව මගින් 2016-2019 කාල සීමාව තුළ අරමුදලේ බරපතළ මුදල් අවභාවිතාවක් සිදුව ඇති බව තහවුරු කර තිබේ.

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු ඇමතිවරයා ලෙස කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අද අගමැතිවරයා භාර දෙනු ලැබිණි.

එම කමිටු වාර්තාව අනුව 2016-2019 යන කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන11 ක මුල්‍ය වංචාවක් සිදුව තිබෙන බවට කරුණු හෙළිවී ඇත.

ඒ අනුව,

• නියමිත අනුමැතියකින් තොරව තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළීය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක්

• නිත්‍යානුකුල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් ද,
• සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක් ද,

• පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක් ද,

• අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේ දී සිදුවූ අලාභය රුපියල් මිලියන 08ක් ද,

• විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රධාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316ක් ද,
• බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක් ද වශයෙන් රුපියල් මිලියන 11059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට ඉකුත් නොවැම්බර් මස 15 වෙනි දින අධ්‍යක්ෂක මණ්ඩලයක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ලබාගෙන ඇත. මෙම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකුලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කර ඇත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස