සජිත් ඇමතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලින් හොරකම් කළේ නෑ! ඒ සල්ලිවලින් පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ පල්ලි හැදුවා! – සමස්ත ලංකා තෛනිකායික එක්සත් සඟ පෙරමුණ

August 28, 2019 at 10:07 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් රු. කෝටි 120ක් අවභාවිත කළ බවට නැඟෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි සමස්ත ලංකා තෛනිකායික එක්සත් සඟ පෙරමුණ පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කතෝලික දේවස්ථාන මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙන්ම එයින් පසු අන්තවාදීන්ගේ ක්‍රියා නිසා හානි වූ මුස්ලිම් දේවස්ථාන පිළිසකර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය කළ බවත් එම පෙරමුණේ භික්ෂූන් වහන්සෙලා පෙන්වා දුන්හ.

සිසු සෙවණ දහම් සෙවණ වැඩසටහන් යටතේ දහම් පාසල් ගොඩනැඟිලි 361ක් සඳහා රු. මිලියන 1444ක් වැය කර ඇති බවත් එම පෙරමුණ පෙන්වා දුන්නේය.

දැවැන්ත හොරකම් කළ මැති ඇමතිවරුන් අගමැතිවරයා ඔඩොක්කුවේ තබා ගෙන සජිත් ප්‍රේමදාස වැනි සොඳුරු මානව හිතවාදියකුට මඩ ගැසීම කෙතරම් උචිත දැයි එම පෙරමුණේ හිමි නමක් ප්‍රශ්න කළේය.

කෙසේ වුවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා නොයොදා වෙනත් කටයුතුවලට යොදවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් නිසි ආරක්ෂාවක් සහ නඩත්තුවක් නොමැති නිසා බොහෝ පුරාවිද්‍යා උරුමයන් දිනපතා විනාශයට පත්වෙමින් ඇති බවත් බොහෝ පාර්ශව විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස