සංඝරත්නයට අපහාස කිරීම මේ රටේ බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීමක්…! – නාමල්…

September 8, 2024 at 10:21 am | by emanisa.lk

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අප මාතෘභූමිය තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද තමා පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා.

එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසල්වලට සමාන පාසල් ගමට ගෙනවා.

ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා.

අවාසනාවකට 2015 දී අපි වෙනසක් කළා. මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොම ද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.

මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි.

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අප මාතෘභූමිය තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද පිහිටුවන ආණ්ඩුවක් සතුව තියනවා. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත්කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා.

අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා.

රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිකරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.”

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *