ශිෂ්‍යත්වය අහෝසි කරනවා නම් විකල්පයක් ඕන! ළඟම හොඳම පාසල කිව්වාට පාසලේ ගුරුවරුවත් නෑ!

March 31, 2019 at 7:22 am | by admin

5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය කටයුතු කරන්නේ නම් ගමේ දරුවාට තම දක්ෂතා තුළින් නගරයේ ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් තිබිය යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

අළුබෝමුල්ල එස්. මහින්ද හිමි විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති පාසල් ළමුන් 500ක් සඳහා පාසල් උපකරණ ලබා දීමේ උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩි දුරටත් හෙතෙම මෙම අදහස් දැක්විය.

“ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන්ට අනවශ්‍ය පීඩනයක් ලැබෙනවා. දෙමාපියන් ද ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙනවා. නමුත්, ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දක්වන ගමේ ළමයාට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හැකි වුණා. ශිෂ්‍යත්ව විභාගය නැති කරනවා නම් ගමේ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකි වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. නැත්නම් ගමේ ළමයා හැමදාම ගමේ. රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය වැනි ජනප්‍රිය පාසල් එකම පැලැන්තියකට පමණක් සීමාවෙනවා. රජය ළඟම පාසල හොඳම පාසල කිව්වාට ළඟම පාසලෙහි ගුරුවරු නැත්නම්, ළමයින්ට ක්‍රිඩා කිරීමට පිට්ටනියක් හා අනෙකුත් පහසුකම් නැත්නම් හොඳම පාසල වෙන්නේ කොහොමද?”

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ සිසුන්ට බරක් වී ඇති 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇති බවකි. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පැවසුවේ තමා එවැනි තීන්දුවක් පිළිබඳ නොදන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *