ශ්‍රී ලංකා නව ක්‍රිකට් සභාපති සහ ක්‍රීඩා ඇමති අතර ගැටුමක්!

February 23, 2019 at 12:32 pm | by admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නොබෝදා පත්වූ නව සභාපතිවරයා සහ ක්‍රීඩා ඇමතිවරයා අතර මත ගැටුමක් නිර්මාණ වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි.

ක්‍රිකට් නිලවරණයට පෙරම ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ කවර කණ්ඩායමක් ජය ගත්ත ද කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද සිල්වා ලබා දුන් වාර්තාව පදනම් කරගෙන ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කරන බවය. සති තුනක් ඇතුළත එම වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා මේ සඳහා විරුද්ධ වෙයි. අමාත්‍යවරයා අනවශ්‍ය ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගසන බවට නිලවරණයට පෙර ද දෙදෙනා අතර මතගැටුම් ඇති වූ අතර පසුව ඒවා සමථයකට පත් කර ගැනීමට කටයුුතු කෙරිණි.

කෙසේ වුවද ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට හිටපු ක්‍රීඩකයන් බලපෑම් කිරීම ද නව සභාපතිවරයාගේ විරෝධයට ලක් වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරි පත්ව පැවැත් වූ පළමු මාධ්‍ය හමුවේ දීම ඔහු ප්‍රකාශ කළේ හිටපු ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගසන එකම රට ලංකාව බවය. අසල්වැසි ඉන්දියාවේ පවා එසේ නොමැති බවය.

එපමණක් නොව ඕස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ ව්‍යුහය ලංකාවට වඩා හොඳ යැයි කීමට සාධක නැති බව ද ලංකාව ලෝක කුසලාන 2ක් දිනුවේ ද අනුශූරතා 3ක් දිනුවේ ද වසර 100ක් පමණ පැරණි මෙම ව්‍යුහය යටතේ බව ද සභාපතිවරයා පවසයි. අපට ආවේනික ව්‍යුහය වෙනස් කළ යුතු ද යන්න සාකච්ඡා කළ යුතු යැයි ඔහු පවසයි.

මේ අනුව ඇමතිවරයා පැවසූ පරිදි ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන අර්ජුණ රණතුංග සහාය දුන් පාර්ශවය පරාජයට පත්ව තිලංග සුමතිපාල පාර්ශවය ජය ගැනීම ඇමතිවරයාගේ කැමැත්ත නොවන බව ද මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්වලින් ගම්‍ය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *