ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්යානා හදන්න සූදානම්! ඉදිරියේ දී කර්මාන්ත ශාලාවක් අරඹන සැලසුමක්!

February 6, 2019 at 7:40 am | by admin

ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන් හමුදා නිලයන්ගේ සහායෙන් මෙම වසර තුළදී ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට ගුවන් හමුදාව මේ වන විට මූලික අඩිතාලම යොදා ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවැසීය.

එකී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වන විට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ද ඊට අවශ්‍ය අනුමැතිය ලද සැණින් එකී ගුවන් යානය නිෂ්පාදනය කිරීමේ කාර්යය ආරම්භ කිරීමට ගුවන් හමුදාව සූදානමින් සිටින බවද ඒ මහතා කීය.

ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට තුළ නොමැති නමුත් ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳව මනා පළපුරුද්දක් ඇති ගුවන් හමුදා නිලයන් බොහෝ පිරිසක් ගුවන් හමුදාව තුළ සේවයෙහි යෙදී සිටින බැවින් නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට පහසුවෙන් හැකියාව ලැබෙන බවද ඒ මහතා පැවැසීය.

දෙදෙනකුට පමණක් ගමන් කළ හැකි කුඩා ගුවන් යානයක් පළමුවෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඉන් පසුව ඊට වඩා වැඩි පිරිසකට ගමන් කළ හැකි ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය. ගුවන් ධාවන පථයක් ඇති ගුවන් හමුදා කඳවුරක් තුළ එකී නව ගුවන් යානය නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඊට අවශ්‍ය සැකිලි හා උපාංග මෙරට තුළදීම නිෂ්පාදනය කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඒ මහතා පැවැසීය.

විදේශීය රටවලින් ගුවන් යානා මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවද මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගතහොත් විදේශීය රටවලට එසේ ගලා යන මුදල් නවතාලීමට අවශ්‍ය ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට තුළදී ඇති කිරීමට හැකියාව ලැබෙන බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පළමු වරට නිෂ්පාදනය කරන ගුවන් යානය ගුවන් හමුදා නියමු පුහුණු කටයුතුවලට හෝ පුද්ගලයන්ගේ විනෝද චාරිකා කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකාව නිෂ්පාදනය කළ මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය පසුගිය 71 වන නිදහස් උලෙළේ දී ප්‍රදර්ශනය කෙරණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *