ශ්‍රීලනිපය පිස්සෝ දෙන්නෙක් අරගෙන යන බස් එකක්! හැම හෝල්ට් එකෙන්ම හතර පස් දෙනෙක් බැහැැලා යනවා! මමත් පොහොට්ටුවට යනවා! – උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් ශ්‍රීලනිපයට පාංශුකුලය දී පොහොට්ටුවට යයි….

August 28, 2019 at 3:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ඉතාම කර්කෂ විවේචනයක් සිදුකළ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ තමන් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වන බව පවසයි.

රෙජිනෝල්ඩ් කුරේ පැරණිම ශ්‍රීලනිප සාමාජිකයකු වන අතර පොදුජන පෙරමුණට එරෙහිව “ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය” ලෙස එකතු වුණු ශ්‍රීලනිප ආසන සංවිධායකයින් මුලින්ම රැස්වී තිබුණේ ද ඔහු නිවසේය.

ඊයේ (27) මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් රෙජිනෝල්ඩ් කුරේ වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නා වූ වටිනා පක්ෂය නමැති බස් රථයේ ඩ්‍රයිවර් උන්නැහේ බස් එක එළවනවා කන්කසන්තුරේට. ඒත් බස් එකේ කොන්දොස්තර මහත්තයා ටිකට් කඩනවා දෙවුන්දරට. ඒ නිසා බස් එක නවත්තන හැම හෝල්ට් එකෙදිම හතර පස් දෙනෙක් බස් එකෙන් බැහැලා යනවා.

ශ්‍රීලනිපය තමාගේ දිසාව, අරමුණ, ප්‍රතිපත්ති අවුල් කරගෙන තිබෙන නිසා ස්වභාවික මරණයකට ගොදුරු වෙමින් පවතිනවා. අංශභාග රෝගියෙකුගේ තත්ත්වයට පත්වෙලා තියෙනවා.

දැන් ඔළුව නැතිව කඳ ෆයිට් කරන ශ්‍රීලංකා එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ කියන එක මම තමුන්නාන්සෙලට කියන්න කැමතියි. දැන් අපේ පදනම දෙදරා ගිහිල්ලා ඉවරයි. පැහැදිලිවම මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නවා.”

උතුරේ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දෙමළ ජනතාව අතර මහත් ජනප්‍රියතාවක් දිනාගත් රෙජිනෝල්ඩ් කුරේ පොදුජන පෙරමුණට එකතු වීම උතුරේ ජනතාව එම පක්ෂය වෙත දිනා ගැනීමට රුකුලක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස