ශ්‍රී ලන්කන් මිලට ගන්න දේශීය සමාගම් දෙකක්…!

May 24, 2024 at 3:16 pm | by emanisa.lk

ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශයට පත් කළ සමාගම් හයක් අතරින් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට ලැයිස්තුගත කරනු ලැබ තිබේ.

දේශීය සමාගම් දෙකක් වන ෂෙරීෂා-සුප්‍රිම් සමූහය සහ හේලීස් සමාගම ඒ අතර වන බව වාර්තා වේ. මීට අමතරව එයාර් ඒෂියා සමාගම ද ශ්‍රීලන්කන් ගුවන් සේවය මිල දී ගැනීමේ අවසන් සුදුසුකම්ලාභීන් තිදෙනා අතර සිටින බව සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් පසුගිය දා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පවරා දීම සඳහා කැමැති ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවූ අතර මේ සඳහා සමාගම් හයක් ඉදිරිපත් විය.

එයාර් ඒෂියා, ෆිසට්ස් එයාර්, දර්ශන් එලයිට්ස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස්, ෆිට්ස් එවියේෂන්ස්, ෂෙරිසා ටෙක්නොලොජීස් අනුබද්ධ සුප්‍රිම් සමාගම, ට්‍රෂෙර් රිපබ්ලික් ගාඩියන්ස් සමාගම සහ හේලිස් සමාගම මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ආයෝජනයට සිය සුදුසුකම් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සමාගම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයන සහ නිර්දේශ ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවරා දීම සඳහා අවසන් වටයට සමාගම් ත්‍රිත්වයක් තෝරාගෙන ඇති බව සඳහන් වේ.

එම සමාගම් අතරින් දෙකක් දේශීය ව්‍යාපාර වන අතර හේලිස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ පොදු සමාගමකි.

එමෙන් ම, ස්‍රප්‍රිම් ග්ලෝබල් සමාගම ද මෙරට ආයෝජන රැසකට සම්බන්ධ සමාගමක් වන අතර එම සමාගම සිය අභිලාෂ යෝජනාව ඉදිරිත් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ ෂෙයික්වරයෙකු වන නයෙෆ් බින් එයිඩ් අල් තානිගේ ආයෝජනයක් ලෙසින් ක්‍රියාත්මක වන ෂෙරීසා ටෙක්නොලොජීස් සමාගම ය.

දිගින් දිගට ම පාඩු ලබමින්, රජයේ මූල‍්‍ය අනුග්‍රහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන ආ මෙරට ජාතික ගුවන් සේවය තවදුරට ත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි වාතාවරණයකට මුහුණදී ඇති අවස්ථාවක එහි ප්‍රගමනය හා රැකියා සුරක්ෂිතභාව සහතික කිරීම පිණිස රජය විසින් පෞද්ගලික අභිලාෂකරුවන්ගෙන් මෙම ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යෑමට අභිලාෂ කැඳවනු ලැබ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *