රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට ආධාර ලබා ගැනීම සඳහා පවතින අවස්ථා කිසිවක් මේ දක්වා භාවිත කර නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා – රුසියානු සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා – රුසියා මිත්‍ර සංගමය සංවිධාන කළ වැඩසටහනක් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (23) පස්වරුවේ අමතමිනි.
“රුසියාවෙන් ඉතා විශාල ප්‍රමාණයේ යෝජනා ආවා. ඒ කිසිවක් ක්‍රියාත්මක වුණේ නෑ. මම තානාපතිවෙලා ඉන්න කොට ද්විපාර්ශ්වික ගිවිසුම් 18ක් අත්සන් කළා. ඩොලර් මිලියන 800ක් ජනාධිපති පුටින් ලබා දුන්නා. ලංකාව ඒ කිසිවක් පාවිච්චි කළේ නැහැ. මේ ඩොලර් මිලියන 800 අවුරුදු දෙකක් පුරා ඒ රටේ විදේශ කටයුතු සම්පත් දෙපාර්තමේන්තුවේ තිබිලා අනිත් පැත්තට ගත්තා. අපේ රටට නොයෙක් ආධාර ගන්න තිබ්බා රුසියාවෙන්. නමුත් ඒ කිසිදු අවස්ථාවක් අද වෙනකම් අපි පාවිච්චි කළේ නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය හදලා තියෙන්නෙත් වෙනත් රටක.”
එම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටේරි මෙසේ ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ ජනතාව අද මුහුණදෙන දුෂ්කරතා තාවකාලිකයි. මම විශ්වාස කරනවා ඉතා ඉක්මණින් මේ ගැටලු නිරාකරණය වෙයි කියලා. ඒකාබද්ධ උත්සාහය තුළින් සහ සංවාද තුළින් අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට තව දුරටත් දායකත්වය ලැබෙනවා.”